Wednesday, September 16, 2009

නොකියාම බැරි නිසා කියන කුණු කතාවක්.

‍ මේ දවස් ටිකේ සෑහෙන්න කාර්ය බහුල නිසා මුකුත් ලියන්නෙ නැතුව ඉන්නයි හිටියේ. ඒ වුනත් අද වෙච්ච දේ නොකියාම බැරි නිසා පුළුවන් තරම් කෙටියෙන් කියලා දාන්නම්.

මම ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ අපේ රටේ විතරක් නෙම් මුළු ලෝකෙම තියෙන කුණු ප්‍රශ්නය ගැන. (සමහරු හිතාගෙන ඉන්නේ ඒක තියෙන්නෙත් අපේ රටේ විතරයි කියලනේ). ඉතින් මේකට අපූරු විසදුමක් අපේ රසායන හා ක්‍රියාවලි පිළිබද ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ හිටපු අංශ ප්‍රධානී මෙන්ම විශිෂ්ඨ ඉංජිනේරු වරයෙක් වන S.A.S. පෙරෙරා මහතා විසින් සොයාගෙන තියෙනවා.

ඒ ගැන කෙටි විස්තරයක් විතරක් මම දැනට කරන්නම්. දැනට ලෝකය පුරාම සිදුවන්නේ කුණු ක්ෂුදු ජීවීන් මගින් දිරාපත් කරවීමයි. (Digestion) නමුත් මිනිසා කුණු නිපදවන වේගයට අනුරූපීව ඒවා දිරාපත් කළ නොහැකි නිසා ලොව පුරාම කුණු කදු ගොඩ නැගෙනවා. මෙම තාක්ෂණය සම්පූර්ණයෙන්ම මිනිසා විසින් පාලනය කරන අධිවේගී ජීර්ණ ක්‍රියාවලියක්. මෙම තාක්ෂණයෙන් ඕනෑම කාබනික හෝ රසායනික අපදුව්‍යයක් පැය කිහිපයකින් ජීර්ණය කර කාබනික පොහොර බවට පත් කරන්න පුළුවන්.

අද අපි විශ්ව විද්‍යාලයේදී මෙය ප්‍රායෝගිකව අත්වින්දා. වෙළද පොළේ ඉතිරි වූ මාළු, ආපනශාලාවේ ඉතිරි වූ ආහාර , ලී කුඩු, වැසිකිළි පද්ධදියේ ඉතිරි වන අපදුව්‍යය (sewage sludge) ආදිය පැයක් ඇතුළත පොහොර බවට පත් කළා. ඇත්තටම විශ්වාස කරන්නත් අමාරුයි නේද?.

Saturday, September 5, 2009

ආදරණීය නායකයානෝ


මේ දවස් ටිකේ ප්‍රවෘත්ති බලපු අය නම් මේක දකින්නත් ඇති. ඒ තමයි ඉන්දියාවේ ආන්ද්‍රා පුදේශයේ මහ ඇමතිවරයා වූ රාජෙෂ්කාර් රෙඩ්ඩි (Y.S Rajshekhar Reddy) මහතා ගුවන් අනතුරකින් හදිසියේ ජිවිතක්ෂයට පත්වීම. මුලදී මේ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වුවත් පසුව පලවූ වාර්තා මා හද කම්පා කලා. ඒ ඔහුගේ හදිසි වියෝව සැළවීමත් සමග පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් හෘදයාබාධ හා සියදිවි නසා ගැනීම නිසා ජීවිතක්ෂයට පතිවීමයි.


මෙහිදී ඉන්දීය දේශපාලනය හෝ ඉන්දීය ජනතාවගේ මානසික තත්වය ගැන විග්‍රහයක යෙදීමට මා බලාපොරොත්ත්‍ර වන්නේ නෑ. නමුත් ඉන්දීය ඉතිහාසයේ මෙතරම් පිරිසක් ජීවිතක්ෂයට පත්වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකේ.

සැබවින්ම මෙය විය හැකිද? මිනිසෙක් තමාගේ නායකයාට මෙතරම් ආදරය කරනවාද? ඇත්තෙන්ම ඔව්. මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිට අද දක්වාම අපි නායකයෙක් යටතේ කණ්ඩායමක් ලෙස වැඩ කරන්නට පුරුදු වී සිටිමු. ඒ නිසාමදෝ මිනිසා දක්ෂ, නිවැරදි, බුද්ධමත් හා මනා පෞරුෂයකින් හෙබි එමෙන්ම තම සිතුම් පැතුම් ඉටු කරන නායකයන්ට දැඩි සේ ඇලුම් කරති. ඒ නායකයා රාජ්‍ය නායකයා හෝ වෙනත් දේශපාලන නායකයෙක් එහෙමත් නැත්නම් රැකියා ස්ථනයේ ස්වාමියා, පාසලේ ගුරුතුමා, පන්සලේ නායක හාමුදුරුවෝ හෝ තමන්ගේ දෙමව්පියන් හෝ විය හැකිය.

විශේෂයෙන්ම වසර දෙදහසකට වඩා වැඩි කාලයක් ශ්‍රේෂ්ඨ රජවරු සමග ජීවත් වූ ආසියාතිකයන් තනි ශක්තිමත් නායකත්වයකට දැඩිසේ ඇලුම් කරති. බොහෝ ආසියාතික රටවල අදටත් සාමකාමී ලෙස මැතිවරණ පැවැත් විය නොහැක්කේ මිනිසුන් තමන් කැමති නායකයා කෙසේ හෝ බලයට පත්වනු දැකීමට දක්වන කැමැත්ත නිසයි. හොදින් සිතා බැලුවොතින් පැහැදිළි වේවි ඕනෑම තැනකදී අප කැමති වන්නේ තනි එහෙත් නිවැරදි තීරණ ගත හැකි නායකත්වයකටයි.

අපට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියාදෙන බටහිර ජාතීන් තුළද මෙය දක්නට ඇත. එංගලන්තයේ මිනිසුන් තම රජුට කෙතරම් ආදර භක්තියක් ඇත්ද යන්න අපට හිතා ගැනීමටවත් නොහැක. ඒ නිසා නායකයකුට ආදරය කිරීම විහිළුවක් වන්නේ නිසි නායකත්වයක් අත්විද නැත්තෙකුටම පමණී. නමුත් පවුලක , සමාජයකට මෙන්ම රටකටද තමන්ගේ ගමන සාර්ථකව යෑමට නම් ආදරණීය නායකයෙක් අත්‍යාවශයය.

Thursday, September 3, 2009

සියබසින් තාක්ෂණය හා දේශීයකරනය

මේ දිනවල තාක්ෂණය දේශීය කිරීම ගැන තැනින් තැන විවිධ අදහස් මතුවෙමින් පවතින බව විවිධ බ්ලොග් වල සදහන් වූ දේවල් වලින් මට හැගී ගියා. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණයට අදාළව දේශීය බස් වහරක් ගොඩ නැගීම පිළබද කතාබහ ඉන් විශේෂයි.

පළමුව මෙවන් අදහසක් පහළ වීම විශේෂයෙන්ම නූතන තරුණ පරපුර තුළ මෙවන්නක් ජනිත වීම ඇත්ත වශයෙන්ම පැසසිය යුතුය. මීට දශකයකට දෙකකට පමණ පෙර දේශීයත්වයට සිනහ වූ එයට ගැරහූ සමාජයක් ‍තුළ මෙවන් අදහස් පහළ වීම ගැන අප අවංකවම සතුටු විය යුතුය.

මා දන්නා පරිදි මෙතෙක් කලක් සිදුවූයේ අපේ සමහර උගතුන් දේශීය බස් වහරක් ගොඩනගනවා යැයි කියා අප කිසි දිනක අසා පුරුදු නැති, කට උලුක්වන උච්චාරණයක් ඇති වදන් අප ඉදිරියේ තැබීමයි. එහෙමත් නැත්නම් Universal joint සදහා සර්ව ලෝක පූට්ටුව වගේ අපට විහිළු සපයන වදන් නිර්මාණය කිරීමයි. ඒ නිසා මින් ඉදිරියට එම වරද සිදු නොවන්නට අප වග බලා ගත යුතුය. එය එතරම් අපහසු නොවන්නේ සිංහල සැබවින්ම පොහොසත් බසක් නිසාවෙනි.

මේ සම්බන්ධයන් කතා කරන විට තනිකර සිංහල යන ප්‍රතිපත්තිය පිළිගැනීමට තරමක් අපහසුය. කව්රු කොහොම මොනව කිව්වත් අපේ රටේ පුද්ගලයකුට දැනුම හා තොරතුරු සොයා ගැනීමට ඇති පහසුම මාර්ගය විවර කරන්නේ ඉංග්‍රීසියයි. සිංහලෙන්ම වැඩ කරමු කියන හැම පණ්ඩිතයෙක්ම හොද ඉංග්‍රීසි උගතෙකි. ඔවුන්ගේ දරුවන්ද එසේ ඉගෙන ගන්නා බව අමතක නොකල යුතුය. දේශීයකරන ක්‍රියාවලිය නිසා යමෙකු‍ට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ඇති පෙළඹවීම අඩු නොකල යුතුය.

මෙයින් මා අදහස් කලේ ඉංග්‍රීසි තමන්ගේ සේවකයා කරගත් නිවහල් දේශීය චින්තනයකින් යුත් තරුණයකු බිහි කිරීම අපේ රටට උචිත සංවර්ධනයක් ඇති කිරීමට ඇති පහසුම හා සාර්ථකම මග බවයි. අන්න ඒ සදහා තාක්ෂණය දේශීයකරනය යොමු කිරීම වැදගත් බවයි මගේ හැගීම.

Tuesday, September 1, 2009

අපේ රටේ උසස් අධ්‍යාපනය

අපේ රටේ උසස් අධ්‍යාපනය ගැන විශේෂයෙන්ම විශ්ව විද්‍යාල ගැන සටහනක් ලියන්න කාලෙක පටන් අදහසක් තිබුනා. මම දන්න තරමින් ලෝකයේ උගත්ම ජනතාවක් ජීවත් වෙන රටක් තමයි අපේ රට. ඉතා විශිෂ්ඨ බුද්ධිමතුන් ලෝකයට බිහිකරන විශ්ව විද්‍යාල පද්ධතියක් අප සතුයි. නමුත් අපේ රටේ විශ්ව විද්‍යාලවලින් දැනුම ලබාගන්න විදේශිය සිසුන් මෙරටට පැමිණෙන්නේ නැති තරම්ය. නමුත් රටක් වශයෙන් අධ්‍යාපනය අතින් එතරම් දියුණු නැති බංග්ලාදේශයට පවා විදෙස් සිසුන් අධ්‍යාපනය ලැබීමට යන බව අපි කව්රුත් දන්න දෙයක්.

කෙනෙක් අහන්න පුළුවන් අපේ රටේ එවුන්ට ඉගෙන ගන්න ඉඩ නැතුව පිටරට එවුන්ට කොහොම උගන්වන්නද කියලා. ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. ඒ වගේම තමයි මෙයින් ලැබෙන ආදායමෙන් අපේ රටේ කොල්ලො කෙල්ලන්ට උගන්වන්නත් පුළුවන්.

තව දෙයක් තමයි පුද්ගලික විශ්ව විද්‍යාල. අපි කාගෙ කාගෙත් යාළුවෝ නෑදෑයෝ පිටරට වල ඉගෙන ගන්නවා. ඒ වුනාට ඒ අය හැමෝම මහ සල්ලිකාරයෝ නෙමෙයිනෙ. සමහරු ඉඩකඩම් උකස් කරගෙන තමන්ගෙ දරුන්ට උගන්වන්නේ. ඉතින් විශ්ව විද්‍යාල ඒ අයට නම් මහත් සහනයක්. ඒ වගේම අනිත් අතට පුද්ගලික විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය පිළිබද ගැටලු රැසක් තියෙනවා.

ඇත්තටම බොහෝ දෙනෙකුට මේ ගැන විවිධ අදහස් තියෙනවා. ඒ හැම එකකම ඇත්තකුත් තියෙනවා. ඒ නිසා මේ ගැන ටිකක් කතා කරමු. මොකද මේ වගේ දේකට විවිධ අදහස් ඕනෙ වෙනවා. මොනව කලත් අවසානයේ විය යුත්තේ අපේ රටේ අධ්‍යාපන මට්ටම ඉහල නැංවීමයි. ඒ නිසා ඒ අරමුණින් සුභවාදීව මේ ගැන කතා කරමු.