Thursday, August 13, 2015

රට දැයට ආදරය කරන සියළු දෙනා කියවිය යුතු.... මේ ශ්‍රී ලංකාද්වීපය තුල කසල කුම්භාන්ඩයින් බිහි වූ අයුරු...

සෝම සමිඳුන් මෙරටින් නික්ම ගියහ. අද මුළු මහත් ජාතියටම ඒ හඬ අමතක වී ඇත. ඒ හඬ සමාජයෙන් මැකී ගොස් ඇත. එහෙත්, එදා ජාතියට පණ පෙවූ ඒ වදන් මොහොතකට හෝ මතක් කර ගත යුතුව ඇත.

එදා ඒ රැල්ල හැමුවේ කොයි දිශාවටද? දරුණු යුද්ධයක බියකරු හඬ දසතින් පැතිරෙන වකවානුවේ දී ජාතිය ඇමතූ සෝම සමිඳු නිහඬ කරවූයේ කවුද? සෝමහාමුදුරුවනේ නැවත වඩින්න! අපට නායකයෙකු නැත. මෙවන් ඉල්ලීම්, කහ කොඩි මුළු රට පුරා ලෙළ දුන්නේ හදවතේ ශෝකාලාපයන් තුලිනි. මළ මිනී ගමක් ගමක්ගානේ උතුරින් පැමිණෙද් දී, සෝම හාමුදුරුවන් ද රටින් නික්ම ගියේ ය.

මෙසේ වා තලයට එක් වූ දරුණු සෝ සුසුම් තුලින් බිහිවූ පක්ෂයක් විය. ඒ ජාතික හෙළ උරුමයයි. ඔබ සැම සංඝයා වහන්සේලාට ඡන්දය දුන්නේ සෝම සමිඳු නැති අඩුව පුරවාලීම පිණිසය. එසේ නොවේද? අද ඔබලාගේ අරමුණ ඉෂ්ට වී ඇති ද? මදක් සිතන්න. එක අතකට යුද්ධය නිමාකරවීමෙහි ලා ඔබගේ ඡන්දය ඵලදායී ලෙස උදව් වූයේද? එසේ නම් සැනසුම් සුසුමක් හෙළිය හැක. එහෙත් අද දසතින් පැතිරෙන්නේ බලු පොරයක හඬක් නොවේ ද? බල්ලන් උඩු බුරලන හඬ ඇසෙන විට අපට හැඟෙන්නේ කුමක් ද? මහා මූසල අනාගතයක පෙරනිමිති ය. මෙසේ වන විට වැඩිහිටියන් කියන්නේ ඉක්මනින් මළගමක් අසන්නට ලැබෙන බව ය. තිස් වසරක යුද්ධය නිමා වූ මොහොතක, නැවත කුලල් කා ගන්නේ මස් රාත්තල බෙදා ගන්න බැරුවද? මේ භූමියට ජීවය දුන් ඉතිහාසයට නැවත ගොස් මස් රාත්තල කිරා බලමු. ඉතිහාසයේ වීර පුරන් අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා, වීර කැප්පෙටිපොල යනාදී ජාතික වීරවරයන් බවට පත් වූයේ කුමන මංමාවත් පසු කර පැමිණීමෙන් ද? මේ ඉතිහාසය ඔබ දන්නවාද? යටත් විජිත කාලය පසු කළ අප මුතුන් මිත්තන් හැලූ කඳුළු මේ භූමිය තෙත් කළ දුක්බර ඉතිහාසයක් ලියා තිබුණි. මෑත අතීතයෙහි දී දරුවන් පූජා කල අම්මාවරු හඬන හඬ තවමත් ඇසේ. එම කඳුළු දැනුදු වියකී නැත. එය ඔබට අමතක ද?

භෞමික අඛණ්ඩතාවය යනු කුමක් ද? ඉන්දියන් සාගරය තුලින් ම මෙම පුංචි දූපත වෙන් කර ඇත. බුදුරදුන් තෙවරක් වැඩම කොට බුද්ධ ශාසනය පිහිටවීමේ ශක්තිය එක් කළ ලෝකයේ එකම දේශය මේ ශ්‍රී ලංකාද්වීපයයි. විදේශිකයන් මස් කටු විසි කරන විටම සෑම විටම ඒවා අහුලා ගත් සුනඛ ප්‍රජාවක් මේ රටේ බිහි වූයේ කෙසේ ද? අපි ඉතිහාසය විවර කර බලමු.

පුරන් අප්පු යනු දේශ හිතෛෂී ජාතික පුත්‍රෙයක් මෙන්ම අප රටේ වීරවරයින් අතර රැව් පිළිරැව් දෙන නාමයක් බවට පත් වූයේ ද? පත්කරවූයේ ද? මේ ගැන මදක් සිතා බලමු. ඔහු 1848 දී කැරැල්ලක් ගැසුවේ ද? නැතහොත් දේශ හිතෛෂීන් එකතුකොට ගෙන හද පුරා නැගුණු දේශ මාමකත්වය හා තම ජාතිය පරාධීනත්වයෙන් බේරාගැනීම උදෙසා අපරාජිත ජාතියක් බිහි කරවනුවස් මෙරට පාගාගෙන සිටි දීන නිවට පර සුද්දන් ඉදිරියේ අභීත සටනක යෙදුනේ ද? මෙය විග්‍රහ කර බැලිය යුතු කාරණයකි. කැරැල්ල යනු පවතින රජයකට හෝ විශේෂිත වූ නිවැරදි ජන කොට්ඨාශයකට විරුද්ධව ගෙන යන බලවේගයකි. එහෙත් ඔහු ගෙන ගියේ තම ජාතිය පාගාගෙන සිටි සිහළ දේශයට එරෙහි වූ විජාතික බලවේගයකට එරෙහිව ගෙන ගිය තම අයිතීන් සුරැකීම උදෙසා හදවත තුලින් බුර බුරානැගි පීඩනය හා මානසික වේදනාව එකතතු කර ඉදිරියට ගෙනයාමකි. මෙහි දී අප දකින විශේෂත්වය නම් එසේ ක්‍රියාකාරී වූ පුද්ගලයෙකුට සමාජය තුලින් මංපහරන්නා, කොල්ලකාරයා, ස්ත්‍රී දූෂකයා යනුවෙන් හංවඩු ගැසීමට භාජනය වීම ගැන සත්‍ය විවේචනයක් කල යුතු බවය. විදේශීය බලවේගයන්ට යටත්වී සිටි මෙම රට එම කාල වකවානුවෙහි දී සමාජය තුලින් ම විදේශීය ගැත්තන්, කුමන්ත්‍රණකාරයින් බිහිකළ අධර්මිෂ්ඨ පරදේසක්කාරයින්ගෙන් ගහනව සියලු තල ඔස්සේ පරගැති මානසිකත්වයන් බිහිකර තිබූ යුගයකි. එම පරගැත්තන් සියලු දෙනාගේ මානසිකත්වයට ඇතළු කලේ මුදලට වහල් වන බලලෝභීත්වය, ද්වේශය, වෛරය, කුමන්ත්‍රණය යන සතර අගතීන්වලට හසුවන්නා වූ දුශ්චරිත දුර්ගන්ධයක් හමන්නා වූ සමාජ බෙලහීනත්වයයි. ගැමුණු යුගයෙන් ආරම්භ කොට ගත් කොන්ද පණ ඇති වීර ජාතියක ස්වර්ණමය යුගයන් එකින් එක පසුවෙද් දී මෙවන් දීන නිවට සිංහලයින් බිහිකරවනු වස් අප සමාජ සංස්ථාව තුලින්ම කසල කුම්භාණ්ඩයින් බිහිවූයේ කෙසේ ද?

එදා මෙදා තුර යටත් විජිතවාදීන්ගෙන් මිදුනා යයි කියන සිංහල දේශය තුල තම දේශය තබා භාෂාව කෙරෙහිවත් ගෞරවයක් නොමැති ජාතියක් බිහිකරවූයේ; ඉංග්‍රීසි භාෂාවට, විජාතික පරභාෂාවන්ට ගරුකරන තම ලිංගිකත්වය පවා නොහඳුන සුනඛ ප්‍රජාවක් මෙරටට පැමිණ ආධිපත්‍ය පතුරාගත් විජාතික බලවේග විසින්මයි. එම මානසිකත්වය කුමන්ත්‍රණ නිර්මාණය සකස්කරවනු වස් බිහිකළ කණ්ඩායම් මෙම නගර  තුල උදම් අනන,පාරම්බාන රාවය විවිධ සමාජ ස්ථරයන්ට පැතිරී ගියේ මූසල දුර්ගන්ධයන් දසත පතුරවමිනි. බූවල්ලන්ගේ ඇට නැති ගාත්‍රා මෙන් පැතිරවූයේ කොන්ද නැති අමනයන් නිසාමය. ඉතිහාසය පුරා මෙවැනි සාක්ෂි දැරූ පෙළ ගැස්මවල් ඔබට ඉදිරිපත් කල හැකිය. පුරන් අප්පු ජාතිය බේරා ගැනීම උදෙසා තම ජීවිතය පවා කැප කරද්දී සිංහල ජාතිය තුලින් ම ඔහුව හිරගෙට යවන තෙක්ම කුමන්ත්‍රණ පටබැඳ බිහිකළ සිංහල පරගැති අමන නායකයෝ එදා ද වූහ. වීරපුරන් අප්පු චරිත කතාව හොඳින් කියවන්න.

වීරපුරන් අප්පු පමණක් නොව එදා මෙදා තුර ජාතික නායකයින්, අනගාරික ධර්මපාල, වාරියපොළ සුමංගල හිමිථ එස්.මහින්ද හිමි ආදී නායකයින් හටද නොයෙක් නම් පටබැඳීම් සමාජය තුල කැළඹිලි ඇතිකර එම නායකයා හට බොරු ගොතා කුමන්ත්‍රණකාරී පිරිසක් බිහිකොට එම පුද්ගලයාගේ උදාර ගති ගුණ හඳුනාගැනීමට නොහැකිවන අයුරින් මත සමාජය තුලට කින්දවා විපරීත බුද්ධියක් ඇතිකළේ විදේශික බලවේගයන් තුලින් ම ය. එවිට මනුෂ්‍ය සමාජය තුල මේ පුද්ගලයාගේ ගුණාංග හඳුනාගත නොහැකිව අතරමැදි ප්‍රශ්නාර්ථයන් වලට සමාජය මුහුණ දුනි.එම නායකයාගේ චරිතය ඝාතනය කරමින් දුශ්චරිතයෙන් ලෙස හඳුන්වමින් නොයෙක් බොරු කතා ගොතමින් සමාජය තුලට කාන්ඳු කලේ මෙම විදේශික බලවේගයන් ම ය. එහි දී උදාර නායකයා මානසික පීඩනයට යටත්ව සමාජ ගර්හා ඉදිරියේ හදවතේ කම්පනය ඇති වී ඔහුගේ කොන්ද කඩා දැමීමේ නීච අභිමතාර්ථය මෙම විදේශීය බලවේගය තුල ඇත්තේ ය. ඔවුහු ඉතිහාසයේ දී ද එය ක්‍රියාවට නැංවූයේ  ඔවුන්ගේ ම පරගැති මානසිකත්වයන් බිහිකර හැදූ සිංහල කණ්ඩායම් තුළිනි. උදාහරණයක් හැටියට ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කිරීම පිණිස ඉදිරිපත් වූ වාරියපොළ සුමංගල හිමියන් එම දළදා වහන්සේ සුරැකීම රාජද්‍රෝහී ක්‍රියාවක් ලෙස පවසමින් යුද්ධාධිකරණය ඉදිරියට පමුණුවන ලදී. දළදා වහන්සේ විනාශ කිරීමේ අභිමතාර්ථය තිබූ විජාතිකයාට ඒ ගැන කැක්කුමක් ඇතිවූයේ කෙසේ ද? මෙය අප විසින් කල්පනාකර බැලිය යුතු කාරණයකි. එයින් නොනැවතුණු ඔවුහු දළදා වහන්සේ ආරක්ෂා කිරීමෙහිලා සිවුර ඇතුලේ හොවා ගනිමින් උදාර කාර්ය භාරයක් කළ සුමංගල හිමියන්ව දළදා වහන්සේ සොරකම් කිරීමේ චෝදනාව මත යාපනය සිර කඳවුරේ වද බන්ධනයට ලක්කරන ලදී. දේශමාමක බලවේග අතරට එක් වූ එස්. මහින්ද හිමියන්ට නට්සිවාදියා නමින් හංවඩු ගසමින් සමාජය තුල අපකීර්තියට ලක්කළේ සිංහල මිනිසුන් අතර මතවාදයක් ගොඩනගමිනි. යුධවාදි මානසිකත්වයක් තිබූ හිට්ලර්ගේ හමුදාවේ සිටි ජාතික විරෝධී බලවේගයන්ට මෙන් එම හිමියන්ට අපහාස කිරීම  පිණිස මෙම හිමියන්ට පටබැඳි නාමය සිංහල ජාතිකයන් විසින් අපහාස කරවමින් සිංහල ජාතිකයන් තුලින්ම එම හිමියන්ව ප්‍රතික්ෂේප කරවීමෙහලා අරමුණු විය.

මෙසේ සමාජය තල ගොඩ නැගෙන්නා වූ වීර චරිත, දේශ හිතෛශී චරිත වලට බොරු නම් පටබැඳ සමාජය තුලින්ම ප්‍රතික්ෂේප කරවීම සඳහා මෛ විජාතීය බලවේගයන් තමන්ට පරගැති කීකරු කණ්ඩායම් බිහිකරවා ඔවුන් ලවා කුමන්ත්‍රණ ඇතිකරවීම යටත්විජිත ඉතිහාසය පුරාම පැතිර තිබුණි. මෛ විජාතික බලවේගයන් විසින් අප සමාජයේ ජාතිභේදය ඇවිස්සුවේ මේ අතරවාරයේය. ලංකා ජාතික ව්‍යාපාරය පිහිටවූයේ පැටලුනු නූල් බෝලයක් මෙන් ලිහාගත නොහැකිව තාඩන පීඩන වලට ලක්වූ සියලුම ජාතික බලවේග හා ජාතික ස්පන්දනයන් එකිනෙකා තුල අවබෝධයන් ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය වකවානුවකය. විජාතීය බලවේග මේ රටේ සමාජ සංසකෘතියට අත පොවා සමාජයේ සෑම ස්ථරයකම තමන්ට තමන්ව හඳුනාගත නොහැකි කණ්ඩායම් බිහිකර තිබූ අවධියකය. 1505 සිට 1948 දක්වා යටත් විජිතයක්ව තබා ගනිමින් තිබූ මෙම රටෙහි පංචසීලය රැකි පිරිස විනාස කර ලෝභ, ද්වේශ, මෝහයන්ගෙන් පිරුණු වෛරීය සමාජයක් බවට පත්කර තිබුනේ එකිනෙකා අතර භේද භින්න මානසිකත්වයක් ඇතිකරලීමෙන් සමාජය තුල වෛරය පතුරුවා ඒ තුලින් තම අරමු‍ණු ඉටුකරගැනීම උදෙසාමය.
අනගාරික ධර්මපාලතුමා සමඟ ගොඩනැගුණු මෙම ජාතික ව්‍යාපාරය විචක්ෂණ බුද්ධයෙන් විශ්ලේෂණයට ලක්කිරීම මෙම දේශය තුළ සිටින සෑම මානසිකත්වයක් තුළම ඇතිවී  ඇති අරවුල නිරවුල් කරගැනීම උදෙසා පිහිටවනු නිසැකය. එතුමා සමග එකට ජාතික ව්‍යාපාරයේ වැඩකල සර්.පොන්නම්බලම් රාමනාදන්, සිද්ධිලේබ්බේ වැනි මුස්ලිම් දෙමළ නායකයින් සමඟ ඊ.ඒ.ගුණසිංහ, දොස්තර වික්‍රමසිංහ වැනි සිංහල නායකයන් ද වූහ. අනගාරික ධර්මපාලයන්ගේ සහයෝගීතාවයෙන් මෙම ජාතික ව්‍යාපාරය විදේශීය බලවේගයන්ට යම්තාක් දුරට අභියෝගයක් වෙමින් පැවතුනු වකවානුවක විදේශීය කුමන්ත්‍රණ වලට හසුකර අනගාරික ධර්මපාලතුමාව සිරගතවීම පිළිබඳව විචක්ෂණ බුද්ධියෙන් යුතුව විග්‍රහ කිරීම වටී. බෞද්ධයන්ගේ උරුමයක් වන බුද්ධගයාව ආරක්ෂා කිරීම උදෙසා අනගාරික ධර්මපාල තුමා දිවි පරදුවට තබමින් දැරූ ව්‍යායාමය තම උදර පරමාර්ථය පිණිස නොවන බැව් අප හඳුනාගතයුතුය. එතුමා ඒ සඳහා කාසි එකතු කිරීම සමාජ විවේචනයට ලක්වීමෙන් මුට්ටකාසි හොරා යන නම පටබැඳීම වර්තමානය සමඟ සැසඳීම වටී. මෙහි බුද්ධගයාව බේරීමේ ලා අනගි ව්‍යායාමයක නිරත වූ එතුමාට හිමි වූයේ සිර දඬුවමයි. අනගාරික ධර්මපාල තුමාගේ දළවශයෙන් සත් අවුරුද්දක පමණ සිරගතිවී සිටි කාලය තුල එතුමා සමඟ එකට වැඩකළ ජාතික ව්‍යාපාරයට වූයේ කුමක්ද? විජාතික මස් කටුවල රසය බලන්නට ලොල් වූ සුනඛයන් මෙම ව්‍යාපාරය තුලද සිටි බව ප්‍රත්‍යක්ෂයි. විජාතික බලවේගයන් ඔවුන්ගේ ඔළුගෙඩි සේදූහ. නැවත සිය මව් රටට පෙරලා පැමිණෙන විට තමන් සමඟ එකට වැඩකළ විජාතික බලවේගයන්ට පරගැති වූ තම සහෘදයින්ම පහරගසන්නට වූයේ තාන්න මාන්න බලයට ලොල් වූ පිසාචයින් එම චරිත තුල ජීවත් වූ නියවෙනි. එදවස මෙවැනි චරිත බිහි වූයේ හර පද්ධති නියාම ධර්මයන් කෙලෙසපු විජාතිකයන්ගේ හස්තයන්ට නතු වීමෙනි. අද දක්වා එය ක්‍රියාත්මක  වනුයේ ඉතිහාස වංස කතාවෙන් බිහිවුණු නින්දිත මානසිකත්වයේ ප්‍රතිඵලයක් නිසාවෙන්මද?

වර්තමානයේ රට රකින ජාතිකත්වයට නින්දා අපහාස කිරීම සිහළ දෙමළ ඔබ අනුමත කරන්නේද? එදා ඒ විජාතිකයින් දෙමළ සිහළ භේදය ඇතිකරවීමට තුඩු දුන් මානසිකත්වයන් බිහි කළ බැවි ඉතිහාසය දෙස විග්‍රහශීලීව බලන ඔබ හට අවබෝධ වන්නේමයි.
දෙමල-සිහල භේදය පමණක් නොව සිහල-මුස්ලිම් භේදය පවා ඔවුන් විසින් ම නිර්මාණය කරන ලද්දක් බැව් ඉතිහාසය දෙස උපෙක්ෂා සහගත සිතින් විග්‍රහශීලීව බැලූ විට ප්‍රඥාවට හසු වේ. මේ වකවානුව වනවිට සිහල ජාතිය තුල ම සිහල ජාතියට එරෙහි කණ්ඩායමක් මෙම ජාතික ව්‍යාපාරය තුලින් බිහි වූ අයුරු සක් සුදක් සේ ඔබට ඉතිහාසය කියවූ විට පැහැදිලි වනු ඇත. 1915 දී සිංහල-මුස්ලිම් කැරැල්ලක් ඇති වූයේ ද විජාතිකයින් එවැන්නක් කරවීමට පෙළඹවූයේද යන්න ඉතිහාසය තුලින් ම මනාව විග්‍රහ වෙයි.

අනගාරික ධර්මපාලතුමාට විරුද්ධ වූ ජාතික ව්‍යාපාරයේ සාමාජිකයින් තුලින් භේද භින්න වූ කණ්ඩායම් සී සීකට ගොස් ද්‍රවිඩ සංගමය, කම්කරු සංගමය, එක්සත් ජාතික පක්ෂය වැනි කණ්ඩායම් බිහි වූ බව ඔබ දන්නෙහි ද? ඒ.ඊ.ගුණසිංහ නායකත්වය දුන් කම්කරු සංගමය වැනි සංගම් ජාතික ව්‍යාපාරය තුලින් වෙන් වෙද්දී ඉතිරි වූයේ විදේශිකයන් විසින් බිහි කර වූ පරගැති සිංහල නායකත්වය පමණී. පරමාදර්ශී නායකත්වයන් නොමැති කර වූ පරදෙසක්කාරයින් විසින් ලංකා ජාතික ව්‍යාපාරය සුනු විසුනු කරන්නේ ජාතිවාදී කුලවාදී භේද භින්න කරවන මානසිකත්වයන් ඇති ජාතික සංගම් නායකත්වයන් ඉතිරි කරවමිනි. එක්සත් ජාතික පක්ෂයේ නායකයින් ලෙස පසු කාලීනව පත් වන්නේ මෙම ජාතික ව්‍යාපාරය විනාශ මුඛයට ගෙන ගිය පිරිස ය. අවසානයේ සුද්දන් 1948 දී නිදහස දී අපට ඉතුරු කරන්නේ රට ජාතිය ගැන හැඟීම නැති සුද්දන්ට ගැති වූ පර භාෂාවට ගරු කරන සුද්දන්ගේ වීසිකරන කටු ලෙව කන සුනඛයින් මෙන් හැසිරෙන්නා වූ මනුෂ්‍ය පිරිසකි. ඔවුන්ගේ සිත් සතන් කැලිකසලවලින් ගහන වූ ප්‍රදේශවල හැසිරෙන්නා වූ දුර්ගන්ධය ම හමවන්නා වූ කසල කුම්භාන්ඩයින්ගේ ප්‍රතිරූපයක් මෙනි. අද ද මෙම රජ විජාතිකයින්ට පාවා දීමට සැරසෙන නායකත්වයන්ට මෛ නාමකරණය වටියි යැයි අප හැඟී අරමුණයි.

මෙවැන පරගැති කොන්දක් නැති නායකයින් මේ රට තුලින් තුරන් වේවායි! අපි අධිෂ්ඨාන කරමු.


-උපුටා ගැනීම හෙළ සුවය සංවිධානයෙනි 

Thursday, August 6, 2015

ටික ටික හෙළි වන යුධ අපරාධ අවදානම

මේ දවස් වල ඡන්දය හින්දා හැමෝටම අමතක වෙලා තිබුනත් තව මාසයක් යනකොට මේ රටේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ යුධ අපරාධ චෝදනා වාර්තාව. ඒක මොනවගේ වෙයිද කියලා විවිධ පුද්ගලයන්ගේ ප්‍රකාශ වලින් අපිට ඉඟියක් ලබා ගන්න පුළුවන්. (මම ප්‍රාර්ථනා කරනවා මෙතනදී මගේ පුරෝකථනයන් වරදින්න කියලා)

  • Heavy wait battle: Sirisena wants to wait, but UNP cannot (ද සන්ඩේ ටයිම්ස්-  2015 ජුනි 21)

මහින්ද-මෛත්‍රී සමඟි කරන්න පත්කල නිදහස් පක්ෂයේ 6 දෙනාගේ කමිටුව ජනාධිපති මෛත්‍රීපාල මුණගැහිච්ච වෙලාවේ ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශයක් කරලා තියනවා. පුවත්පත ඒක වාර්ථා කරන්නේ මෙන්න මේ විදිහට.

''He said three different countries were now probing Rajapaksa but did not name them. This was besides the strong likelihood of critical references against Rajapaksa in the probe report on alleged war crimes.''

මේ වෙලාවේ මහින්ද ගැන විමර්ෂණයක් කරන්න රටවල් තුනකට අවශ්‍ය නම් ඒ යුධ අපරාධ ගැන මිසක් වෙන දෙයක් ගැන නොවන බව පැහැදිළියි. යුධ අපරාධ වාර්තාවෙන් මහින්ද රාජපක්ෂට ඍජුවම චෝදනා එල්ල වෙන් පුළුවන් බවට පළවෙච්ච පළවෙනි ප්‍රභලම ඉඟිය මෙයයි. වැදගත්ම දේ තමයි මේ පුවත්පත වාර්තා කරල තිබ්බ දේ කිසිම කෙනෙක් වැරදියි කියලා ප්‍රකාශයක් කලේ නැහැ.


  • Sri Lanka polls timed ahead of U.N. war crimes report to foil Rajapaksa comeback (රොයිටර් වෙබ් අඩවිය - 2015 ජූලි 6)
යුධ අපරාධ වාර්තාව ඉදිරිපත් වීමට පෙර මේ රටේ මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවය මේ පුවතින් පෙන්වා දෙනවා.

''A U.N. report on the last days of the war is due for release in September but an aide to President Maithripala Sirisena said diplomatic sources had warned it may be leaked in late August.


    The possibility of an early release prompted Sirisena to call elections for Aug. 17 to give his ally Prime Minister Ranil Wickremesinghe an edge and hopefully deny Rajapaksa any chance of a political resurgence, said sources close to Sirisena.

"Even if is not said openly, the U.N. report was considered when deciding the date," Champika Ranawaka, power and energy minister and one of Sirisena’s close allies, told Reuters.

Foreign diplomatic sources said some Western countries also worried the U.N. report could help Rajapaksa and urged Sirisena not to delay elections.''

මේ වාර්තාවෙන් කියවෙන විදිහට යුධ අපරාධ වාර්තාව මැතිවරණයට පෙර ඉදිරිපත් උනොත් එය පැහැදිළිවම මහින්දට මැතිවරණය ජය ගන්න උදව්වක් වන බවයි. එය මහින්දට ජය ගන්න උදව්වක් වන්නේ ඔහුට යුධ අපරාධ වාර්තාව හරහා යුධ අපරාධ චෝදනාවක් එල්ල වනවා නම් පමනයි. යුධ අපරාධ වාර්තාව හරහා ඔහු යම් වරදකරුවකු වීමේ අවදානමක් නැත්නම් ඒ හරහා මහජන සහයෝගයක් ලබා ගැනීමේ හැකියාවක් ඔහුට නැහැ. ඒ නිසා මහින්දට කෙළින්ම චෝදනා ඉදිරිපත් වන බවට පෙනෙන දෙවන ප්‍රභල ඉඟිය මෙයයි.


  • යුධ අපරාධ නිර්දේශ වලට රජයෙන් කොළ එළි (දිවයින - 2015 අගෝස්තු 07 )

ඒ වාර්තාවේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා

''සැප්තැම්බර් 15 දා ප්‍රකාශයට පත් වන ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයේ නිර්දේශ පිළිබඳව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

කොටි සංවිධානය සිදු කළ වරද ලෙස දක්‌වා ඇත්තේ ළමා සෙබළුන් බඳවා ගැනීම බවද එහි දක්‌වා තිබේ. මෙකී වාර්තාවෙන් සුදු කොඩි සිද්ධිය පිළිගෙන ඇත. එහි ප්‍රධාන සාක්‍ෂිකරු හිටපු නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම් යෑයි හෙළිවී තිබේ.''

තනි පුවතක් විදිහට මෙහි එතරම් ලොකු ඉඟියක් නැතිවුනත් ඇමති රාජිතගේ ප්‍රකාශත් එක්ක ගත්තාම වැදගත් දෙයක් තියනවා. ඒ ප්‍රකාශ නම්,

  • සුදුකොඩි ඔසවද්දී මරන්න නියෝග දුන්නා නම් බේරාගන්න බෑ - කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න (දිවයින - 2015 අගෝස්තු 06)

මෙහිදී ඇමතිවරයා මෙහෙම කියනවා

''යුද්ධය පැවැති අවස්‌ථාවේදී සුදු කොඩි උස්‌සාගෙන එන අය මරන්න කවුරුන් හෝ නියෝග දුන්නේ නම් ඔවුන් බේරා ගැනීමට නොහැකි බව කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ජිනීවා සමුළුවේදී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කළහොත් ඊට සැප්තැම්බර් මාසයේදී පිළිතුරු ලබාදෙන බව කී ඇමැතිවරයා යුද්ධයේදී සිදුවූ සැබෑ සිද්ධීන් වලදී ආණ්‌ඩුව පෙනී සිට සියලු දෙනා බේරාගන්නා බවද කියා සිටියේය.

එහෙත් යුද්ධයට මුවාවී විවිධ අපරාධ, මිනී මැරුම් කළ හෝ කිරීමට අණදුන් කිසිවකු වෙනුවෙන් පෙනී නොසිටින බවද ඇමැතිවරයා කීය.''

අනිවාර්යයෙන්ම මෙහිදී ඉදිරිපත්වන්නේ යුධ අපරාධ පිළිබද චෝදනාය. ඇමතිවරයාම කියන පරිදි අපරාධ කල අය වෙනුවෙන් පෙනී ඉන්නේ නැත. 

ඒ වගේම සන්ඩේ ටයිම්ස් පුවත්පතේ වාර්තාවේ ජනාධිපතිතුමා මෙහෙම කිව්වා කියලත් සඳහන් වෙනවා.

''If Rajapaksa agrees to accept his offer, Sirisena said there was a possibility of Rajapaksa being defended or saved.''

මෙහිදී ඔහුගේ යෝජනාව වූයේ

''He then made clear he was not prepared to make Mahinda Rajapaksa the prime ministerial candidate nor give him nominations to become a candidate at the parliamentary elections. He will also not be named on the National List. However, Sirisena said he could be given a ‘sambhavaneeya thanathurak’ or a distinguished position.''

ඒ අනුව මහින්ද ඇතුළු යුද්ධයට සම්බන්ධ වූවන් දඩයම් කිරීමේ පැහැදිළි අවදානමක් ඇති බව මම දකිනවා. ඒ වගේම ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්න වත්මන් රජය සූදානම් නැති බවත් කියවෙනවා. (නැවතත් මා ප්‍රාර්ථනා කරනවා මගේ අනුමානය වරදින්න කියලා)

කෙනෙකුට කියන්න පුළුවන් අපරාධයක් කරලා නැත්නම් ඇයි බය වෙන්නේ කියලා. ඒකට මට කියන්න තියෙන්නේ කාරණා දෙකයි.

1.නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
2. කන්න ඕනේ උනාම කබරගොයාත් තලගොයා වෙනවා

ඉදිරි මහමැතිවරණයේදි කැමත් පක්ෂයකට කැමති පුද්ගලයෙකුට මනාපය දීමට ඔබට අයිතිය හා නිදහස තියනවා. ඒකේ කිසි ගැටලුවක් නැහැ. කරුමෙට වගේ මේ දේවල් ඇත්ත උනෝතින් එදාට මතක්කර ගන්න මෙහෙම දේකුත් කවුරුහරි කිව්වා කියලා.




Saturday, January 10, 2015

දින සියය - ප‍‍ළමු කොටස (10/01/2015)

මැතිවරණයෙන් මෛත්‍රීපාල පාර්ෂවය පැහැදිළි ජයක් අත්කර ගනිද්දී හිටපු ජනාධිපතිතුමා ‍ගෞවරවාන්විතව තම ධූරයට සමු දුන්නේය. මෑත කාලයේ අප දුටු සාමකාමීම මැතිවරණය මෙය වූ අතර හිතුවාටත් වඩා හොඳින් සුහදව හා සාමකාමීව බල හුවමාරුවක් සිදු විය. ඒ සඳහා විශේෂයෙන්ම පැවති රජයටත් වික්‍රමසිංහ මහතාටත් ස්තූතිය පළ කල යුතුය.

සරල චාම් දිවුරුම් දීමේ උත්සවයක් පැවැත්වීමත් නැවත වතාවක් ජනාධිපති ධූරයට තරඟ කිරීමේ අදහසක් නැතිබව මෛත්‍රීපාල මහතා ප්‍රකාශ කිරීමත් පැසසිය යුතු කරුණකි. විශේෂයෙන්ම පළි ගැනීම් හා ප්‍රචන්ඩ සිදුවීම් තොරව නව රජය බිහිවීම ගැන ශ්‍රී ලාංකිකයන් ලෙස අප සතුටු විය යුතුය.

දින සියයේ පොරොන්දුව පරිදි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කරන ලද අතර එය මැතිවරණ පොරොන්දුවක් වීම නිසාම එයට ජනතා අනුමැතිය ලැබී ඇතැයි සැලකිය හැක. පාර්ලිමේන්තුවේ බහුතරය නැති පක්ෂයකින් අගමැති පත් කිරීම ව්‍යවස්ථා විරෝධියැයි යම් මතයක් ගොඩ නැගෙමින් පවතී. නමුත් ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත හැකියැයි තමන්ට හැඟෙන පුද්ගලයා අගමැතිවරයා වශයෙන් පත් කරන්නට ජනාධිපතිවරයාට බලය ඇත. මෙහි *හැඟෙන* යන වචනය ඉතා ප්‍රභලය. ඒ අනුව ඒ ගැන පාර්ලිමේන්තුවේ මතය විමසීමට අවශ්‍ය නැත. නමුත් දින 100 වැඩසටහනට අවශ්‍ය පාර්ලිමේන්තුවේ බහුතර හා ඇතැම් විට අවශ්‍ය 2/3 බලය දිනා ගැනීමේ අභියෝගය නව රජය ඉදිරියේ ඇත.
මේ අවස්ථාවේදී නිදහස් පක්ෂය හා මහින්දට සහය දැක්වූවන් කල යුත්තේ සුභවාදි ප්‍රවේශයක සිට මේ වැඩ පිළිවෙල දෙස බැලීමය. යහපත් දේට සහය දීමත් වැරදි දේ විවේචනය කිරීමත් හා ඒවා පරාජය කිරීමටත් කටයුතු කල යුතුය. මෙම දින 100 ඇතුළත රජය හා නිදහස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂය හැසිරෙන ආකාරයෙන් ඊලඟ පාර්ලිමේන්තුවේ ජයග්‍රාහකයා තීරණය කරනු ඇත.



Tuesday, December 30, 2014

තම තම නැණ පමණින් තොරා ගනිත්වා



2015 ජනාධිපතිවරණයට ඇත්තේ තව දින 10කටත් අඩු කාලයකි. 2005,2010 වසර වල මෙන් නොව මෙවර පැහැදිළිව එක පිළක් තෝරා ගැනීමට නොහැකිව ඇත. සරල බැලුවෝතින් මහින්ද හා මෛත්‍රී සතුව පැහැදිළි භයානක අනාගතයක්ද යම් යම් සුභවාදී බලා පොරොත්තුද ඇත.


හැමදෙනාම වැඩියෙන් කතා කරන මෛත්‍රී පිළ ගැන බැලුවෝතින් පැහැදිළිව පෙනෙන්නට තියෙන්නේ එක්තරා ආකාරයක කැඳ හැලියකි. සමහරුන් කියනා පරිදි 2005දී මහින්ද පැමිණියෙත් මෙවැනිම කැඳ හැලියක් සමඟින්ය. නමුත් එදා ශ්‍රීලනිප ජවිපේ හා හෙළඋරුම හවුලට වඩා එජාප හෙළ උරුම මුස්ලිම් කොනුග්‍රස් හා ටීඑන්ඒ හවුල රටට අහිතකර ඉතිහාසයකින් යුක්තය. මේතුල බෙදුම්වාදය පැළපදියම් වී ඇත. ඒ නිසා මෛත්‍රී ආවෝතින් නැවත බෙදුම්වාදය හිස ඔසවා රට අස්ථාවරවේ යැයි බියක් ඇති වීම සාධාරණය. අප කාටවත් එය එසේ නොවේ යැයි කිව නොහැක. මේ අතර මෛත්‍රීපාල ගෙන එන්නට තනන ව්‍යවස්ථා වෙනස අසාර්ථක වුවහොත් වන්නේ කබලෙන් ලිපට වැටීමකි. නමුත් යම් හෙයකින් විධායක ජනාධිපති ධූරයේ අත්තනෝමතික බලතල ඉවත් කර ස්වාධීන අධිකරණ පද්ධතියක් රටේ ස්ථාපනය කරන්නට හැකි වුවහොත් සුභදායක අනාගතයක් ඇතිවීමට යම් හැකියාවක්ද ඇත. නමුත් එය සුභවාදී බලාපොරොත්තුවක් මිස අනිවාර්යයෙන්ම සිදුවන්නක් ලෙස බොරු කීමට අපට නොහැක.


අනිත් අතට මහින්ද බෙදුම්වාදයට විරුද්ධව ක්‍රියා කරන බව පසුගිය කාලය පුරාවටම ක්‍රියාවෙන් ඔප්පු කර ඇත. බෙදුම්වාදය යනු වතුරේ පාවන රබර් බෝලයක් නම් ඔහු තම ශක්තියෙන් එය පාවීමට ඉඩ නොදී වතුරේ ඔබා ගෙන සිටී. මෙය ඇත්තටම තාවකාලික විසදුමකි. ඔහුගේ බලය ක්‍රමයෙන් පිරිහීමත් සමඟ ජාත්‍යන්තරව එල්ල වන පීඩනය හමුවේ ඔහුගේ වත්මත් ප්‍රතිපත්ති වලින් මිදීමට ඉඩක් ඇතත් එහි සම්භාවිතාවය අවම යැයි අපට උපකල්පනය කල හැක. ඒ මක් නිසාද යත් අද වනවිට ඔහුගේ ඡන්ද පදනම රැදී ඇත්තේ ඒකීය රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටින නිසාමය. නමුත් මහින්ද නැතිදාක ඒකීය බව (විශේෂයෙන්ම ඉඩම් හා පොලිස් බලතල) ප්‍රශ්නාර්ථයක් වන යුගය නැවත බිහිවනු ඇත. ඒ මහින්ද යනු රටේ ඒකීය භාවයට හා සුරක්ෂිත භාවයට යොදාගත හැකි තාවකාලික විසදුමක් මිසක් තිරසාර විසදුමක් නොවන බැවිනි.


නමුත් මහින්දගේ පාලනය තුළ අන් සියළු අංශ බිඳ වැටී ඇත. ඔහු ඇසට පෙනෙන භෞතින සංවර්ධනයක් කර ඇති බව සැබෑය. නමුත් ඒ වෙනුවෙන් රටක් විදිහට අපට ගෙවීමට සිදුවී ඇති මිල ඉතා ඉහළය. අනිත් අතට ඒ ව්‍යාපෘති මඟින් රටට කෙතරම් ආදායමක් ජනිත කර ඇත්ද යන්නද ප්‍රශ්නාර්ථයකි. අධිවේගී මාර්ග කෙතරම් හොඳ වුවත් ඒ සඳහා කල වියදම කෙසේවත් සාධාරණය කල නොහැක. මත්තල ගුවන් තොටුපොල නිසි අධ්‍යයනයකින් තොරව ඉදිකල තවත් සුදු අලියෙකි. හම්බන්තොට වරාය පමණක් යම් ප්‍රගතියක් ලබා ගනු ඇතැයි සිතිය හැක. සරලවම පවසනවා නම් මෙම ආර්ථික ප්‍රතිපත්ති හා පවතින නීතියේ බිඳ වැටීම තව අවුරුදු 7-8කට අප සමාජයට දරා ගැනීමට හැකිදැයි කියා සිතිය නොහැක. මෙවැනි තියුණු මැතිවරණ කාල සීමාවකදී පවා ඔහු තම අනාගත පාලනය යහපත් අතට හරවා ගන්නට කිසිම සූදානමක් නැති බවද පෙන්වා ඇති බවයි මගේ හැගීම. ඒ නිසා තාවකාලික විසදුම් හරහා ඒකීය රටක් පවත්වා ගනිමින් හා දූෂිත පාලනයක් පවත්වා ගනිමිනි තව වසර 8ක් මේ රට පාලනය වුවහොත් නැවත මහා විනාශයක් ඇති වීමටද ඉඩ ඇත. හෙළ උරුමය පවසන්නා සේ මැස්සෝ වහන්නේ තුවාලයක් ඇති විටය. මහින්ද මේ ආකාරයෙන්ම රට පාලනය කලහොත් විශේෂයෙන්ම තරුණ පරපුර අතර පවතින මේ තුවාලය ඔඩු දුවනු ඇත. රට කෑවත් අපි මහින්දට කියා මහින්ද දිනවා තව අවුරුදු 7-8ක් හූල්ලන්ට අපට නොහැක.


සරලවම පවසනවා නම් මෛත්‍රීපාලනයක් තුලින් වඩා හොඳ හෙට දවසක් බිහිවන බවට අපට සහතික විය නොහැක. මහින්දට තව වාරයක් දුන්නෝතින් රටට හිතකර පාලනයක් ඇති කරන බවටද සහතික විය නොහැක. කල හැක්කේ තම තම නැණ පමණින් තමන්ගේ හෘද සාක්ෂියට අනුව කාට හෝ ඡන්දය දීමය.  මෙවර අපට තව කෙනෙකුට කියන්නට බෑ අහවලා දිනවන්න කියලා. මොකද මේ යකුන් දෙදෙනාගෙන් එකෙක් අනෙකාට වඩා හොඳයි කියන්නට බැරි නිසාය. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව එක යකෙක් අනෙකාට වඩා හොඳ විය හැක. නමුත් එය සාපේක්ෂ බව අප තේරුම් ගත යුතුය. කොටින්ම ජවිපේ කියන්නා සේ මෙවර කාටවත් චරිත සහතික දීමට සක්කරයාටවත් බැරිය.

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ කවුරු දින්නත් එතනින් එහාට සිදුවන දේ හරිනම් හරි කියන්නටත් වැරදි නම් වැරදියි කියන්නටත් අපට කොන්දක් තිබිය යුතුයි. 2010 දී අපට ඒ කොන්ද නොතිබුන නිසා අද මේ තත්වය ඇති වී තිබෙන බවද කණගාටුවෙන් වුවද කිව යුත්තේය.

Sunday, June 2, 2013

සිංහලෙන් පාඩම් කියලා දෙන්න ඔබත් එනවාද?

http://www.openculture.com/2012/12/introducing_ka_lite_an_offline_version_of_the_khan_academy_that_runs_on_almost_anything.html


ඛාන් ඇකඩමිය එහෙමත් නැත්නම් ඛාන් ශාස්ත්‍රාලය ලංකාවේ අපට එතරම් හුරුපුරුදු නමක් නොවුනට අද වෙනකොට ලෝකයේ බොහොමත්ම ජනප්‍රිය නොමිලේ අධ්‍යාපනය සපයන වෙබ් අඩවියක්. පහුගිය දවස් වල මේ පිළිබදව බොහොම වැදගත් ලිපියක් පළවුනා අරුණි ශපිරෝගේ බ්ලොග් අඩවියේ.



බොහොම සරලව ආරම්භ කරපු ඛාන් ඇකඩමිය අද ලෝකයේ බොහෝ රටවල දරුවන් තමන්ගේ අධ්‍යාපන කටයුතු පහසු කරගන්න භාවිතා කරන්නේ එහි තියන සරල එහෙත් ප්‍රයෝජනවත් බව නිසයි. මේ ප්‍රයෝජනවත් බව නිසාම ඛාන් ඇකඩමියේ ඇති පාඩම් මාලාවන් විවිධ භාෂාවන් වෙත පරිවර්තනය කෙරෙමින් පවතිනවා. පරිවර්තනය කියන්නේ හඩ කැවීම හා උපසිරස යෙදීමයි.

තවමත් ලංකාවේ අන්තර්ජාලය භාවිතා වන්නේ චිත්‍රපට නැරඹීමට, ෆේස්බුක් යෑමට හා ප්‍රවෘත්ති බැලීමට වැනි කාරණාවලට පමණක් නිසාදෝ ඛාන් ඇකඩමියේ පාඩම් සිංහලට පරිවර්තනය කරන්නට වැඩි අවදානයක් යොමු වී නැහැ. අපට පුළුවන්නම් මෙම පාඩම් පරිවර්තනය කරන්න එහෙමත් නැත්නම් අපටම කියා පාඩම් මාලාවක් නිර්මාණය කරන්න අපේම රටේ නංගිලා මල්ලිලාට සෑහෙන්න ප්‍රයෝජනයක් වේවි. අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර ගත්විට අපේ රටේ සම්පත් බෙදීයාමේ ලොකු ගැටලුවක් තියනවා. දුෂ්කර ප්‍රදේශ වල සිසුන්ට කොතරම් භෞතික සම්පත් ලබා දුන්නත් ඒ ප්‍රදේශවල ඇත් ගුරුහිගයට විසදුම් දෙනතාක් කල් ඒ ප්‍රදේශවල සිසුන්ට කවදාවත් නිදහස් අධ්‍යාපනයේ නියම ඵල ප්‍රයෝජන අත්විදින්ට ලැබෙන්නේ නැහැ. අද වෙනකොට අන්තර්ජාලය හෙමින් හෙමින් සමාජය පුරා පැතිරී යන යුගයක ඒ හරහා අපේම රටේ අපේම සහෝදර සහෝදරියන් කොටසකට යම් උදව්වක් කරන්න පුළුවන් නම් ඒක වචනයෙන් කියලා නිම කරන්න බැරි සේවයක්. අපිට මේ වැඩේ හරියට කරන්න පුළුවන්නම් අද ඒ ළමයින්ට පොත් පත් දෙන දානපතීන් හෙට ඒ ළමයින්ට ලැප්ටොප් වුනත් දේවි. අපට කරන්න තියෙන්නේ ඛාන් මහතා කලා වගේ ලාබ ප්‍රයෝජන නොතකා මේ වැඩේ පටන් ගන්න පමණයි.

එහෙම හිතපු මම ඇත්තටම පාඩම් කිහිපයක්ම සිංහලට පරිවර්තනය කලා. මෙන්න මෙතනින් ඒවා බලන්න පුළුවන්.

මම නම් මේ වැඩේට අත ගැහුවේ විනෝදාංශයක් විදිහට. ඛාන් ඇකඩමියේ ලංකාවේ නියෝජිතයා විදිහට කටයුතු කරන්නේ තඹරු විජේසේකර. අද වෙනකොට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය අපේ ව්‍යාපෘතිය වෙත යොමු වෙලා තියනවා. නමුත් අපට ඇත්තටම ඕනේ කරන්නේ හොද පිරිස් බලයක්. මේ සද්කාර්යයට දායක වෙන්න කැමති අයට පුළුවන් මෙන්න මේ  ලින්කුව හරහා ගිහින් මේ සදහා දායක වෙන්න. හැමදාම අදුරට සාප නොකර මේ රටට යම් එළියක් දක්වන්න අපි දරණ සරල උත්සායක් මේ.

වැඩි විස්තර සදහා