Saturday, May 25, 2013

වයිකින් දේසේ වෙසක් මංගල්‍යය

වයිකින් දේසෙට පායපු වෙසක් පුන් සද


දෙන්නෙක් කසාද බැන්දට පස්සේ එළඹෙන අළුත් අවුරුද්ද , උපන්දින , වෙසක් පොසොන් උත්සව එක්තරා ආකාරයකට විශේෂයි කියලයි මම නම් හිතන්නේ. ඒ අතින් බැලුවාම මේ අවුරුද්දේ වෙසක් උත්සවය අපි දෙන්නාට බොහොම විශේෂයි. අනිත් අතට බැලුවහම ලංකාවෙන් සැතපුම් දහස් ගණනක් දුර, පන්සලක් කියලා නාමයක් නැති ලෝකයේ උතුරු කොනේ ඉදන් ගෙවෙන පළවෙනි වෙසක් මංගල්‍යය.

මුලින්ම නම් මේ පාර වෙසක් එකට කූඩුවක් හදන්න තුන් හිතකවත් අදහසක් තිබුනේ නෑ. මීට දවස් දෙකකට කලියෙන් විභාගයක් තිබුන නිසා ඇත්තම කියනවා නම් මට මේ ගැන හාංකවිස්සියක්වත් මතකෙට ආවේ නෑ. හැමදාම මොකක් හරි කූඩුවක් හදපු මට මේ පාර විතරක් කූඩුවක් නොහදා ඉන්න හිතුනේ නෑ. අනිත් අතට අපේම කියලා පුංචි ගේ කෑල්ලක ඉන්න කොට වෙසක් එකට කූඩුවක් වත් හදන්නේ නැත්නම් ඇති වැඩේ මොකද්ද කියලාත් හිතුනා.

බෞද්ධයෝ විදිහට අපි වෙසක් කූඩු වගේ ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වයක් දෙන්න ඕනෑ. නමුත් ඒ වගේම අපේ සංස්කෘතියත් එක්ක බැදුනු දේවල් අපි ඉදිරියට ගෙනි යන්නත් ඕනේ. අපි පුංචි කාලේ ගමේ ගිහින් බට පතුරුයි ඔට්ටපාලුයි අරගෙන ඇවිත් අම්මයි තාත්තයි එක්ක කූඩු හදපු හැටි මට තාම මතකයි. එදා ඒ කූඩු හදන කොට ලබපු සතුට වචන වලින් විස්තර කරන්න අමාරුයි. මම හිතන්නේ ඒ සතුට විදින්න අපේ අනාගත පරම්පරාවටත් අපිට වගේම අයිතියක් තියනවා. අපි වගේ නගරබදව ඉන්න පවුල්වල උදවියට එකට එකතු වෙන්න පුළුවන් දවසක් තමයි මේ අසිරිමත් වෙසක් උත්සවය. හැබැයි ඒ එකමුතුකම ඒ සරල සතුට කඩෙන් සල්ලි වලට කූඩු ගෙන්ල්ලා තමන්ගේ ගේ සරසලා නම් ලබා ගන්නට බෑ.

කොහොම හරි ඉතින් කූඩුවක් හදන්න හිතුවට ඒකට ඕනේ කරන දේවල් හොයා ගන්න එකනේ අමාරුම වැඩේ. ලංකවේ ඉන්න කොට නම් කාඩ්බෝඩ්, පේපර් පල්ප් වගේ ඒවත් ගත්තා කුඩු හදන්න. ඒත් මෙහෙ ඒවා කරන්න අමාරුයි. එක පැත්තකින් ගිනි ගණන්. අනිත් පැත්තෙන් වෙලාව මදි. (එක දවසයි තියෙන්නේ පෝයට). ඒ වෙලාවේ තමයි මතක් වුනේ මෙහෙ තියන grill skewers  එහෙමත් නැත්නම් BBQ කෝටු. ඒවයි රබර් පටි වලින් තමයි යන්තම් අටපට්ටම හදා ගත්තේ. හදිස්සියට හදපු හින්දා ටිකක් ඇදවුනා. ඒත් ඉතින් මුකුත් නැතුව ඉන්නවාට වඩා ඔය හොදයිනේ. වැඩේ එකම අවුලකට තිබ්බේ දැන් මෙහෙ කළුවර වෙන්නේ රෑ 11ට විතර. ඉතින් 11 වෙනකම් බලන් ඉන්න වුනා කූඩුවේ හැඩ බලන්න. ඒක දකින කොට ලංකාවේ පරණ මතකයන් හිතට ගලාගෙන ආවේ නිකම්මම වගේ. ඔන්න ඔහොමයි වයිකින් දේසයේ වෙසක් සැමරුවේ.
සාදා ගත් සැකිල්ල
අපේ පුංචි වෙසක් කූඩුව