Thursday, August 2, 2012

උසස් පෙළට දැන් ලෑස්තිද? .... (2)


කලින් ලිපියේ අපි සාකච්චා කලේ විභාගයකට මුහුණ දෙනකොට අපි විසින් මූලිකවම දැන ගන්න ඕනේ කරුණු කාරණා කිහිපයක්. අද මේ ලිපියෙන් ඉන් තරමක් ඔබ්බට ගිය කරුණු කිහිපයක් තේරුම් බේරුම් කර ගමු.

කලින් ලිපියේදී අප කියා සිටියා උත්තර සපයන එකත් එක්තරා සන්නිවේදන ක්‍රියාවලියක් කියා. සන්නිවේදනයේදී අප උත්සාහ කරන්නේ අපේ හිතේ ඇති යම් අදහසක් හෝ හැගීමක් තව කෙනෙකුගේ හිතට ඇතුළු කිරීම. එහෙමත් නැත්නම් ඔහුට එය තේරුමටයි. නමුත් අපිට කවදාවත් අපේ හිතේ තියන දේ ඒ ආකාරයෙන්ම වෙන කෙනෙකුට තේරුම් කර දෙන්න නම් බෑ. අපි කියන්නේ එකක් නමුත් අනිත් අය තේරුම් ගන්නේ වෙන දෙයක් - මේක අපේ ජීවිතයේදී සාමාන්‍ය දෙයක්. ඒ සාමාන්‍ය දේ විභාගයටත් පොදුයි කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එදිනෙදා ජීවිතයේදී නම් අපි කියන දෙයක් අනිත් අයට තේරුනේ නැති වුනාම ඒ දේ තේරුම්යනකම් නැවත නැවත අපිට කියා දෙන්න පුළුවන්. නමුත් විභාගයකදී අපට ලැබෙන්නේ එකම එක අවස්ථාවක් පමණයි. අපට විභාග පරීක්ෂකවරයා වෙතට ගොස් අප කියන්න උත්සාහ කලේ මෙන්න මෙයයි කියලා නැවත පැහැදිළි කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. අන්න ඒකයි විභාගයක් ලියන එකත් කලාවක් කියන්නේ. තමන් කොච්චර දැනුමෙන් සන්නද්ධ වුවත් තමන් දන්නා බව ලොකයාට පෙන්වන්ට බැරි නම් විභාග කියන දේ සමත් වන්නට තරමක් අසීරුයි.

සන්නිවේදනයේදී වචනයට වඩා  රූපය ප්‍රභලයි. අපි කථාවට කියන දෙයක් තමයි වචන දාහකින් කියන්න බැරි දේ එක රූපයකින් කියන්න පුළුවන් කියන එක. ඡේද ගණනාවකින් අප කියන්නට හදන දේ එක රූප සටහනකින් අපට විස්තර කරන්නට පුළුවන්. ඒ වගේම බලන කෙනෙකුට එය පහසුවෙන් තේරුම් ගන්නත් පුළුවන්. බලන්න ප්‍රශ්න පත්‍රයක රූප මගින් විස්තර කර තිබෙන ප්‍රශ්න අපි බොහොම ලේසියෙන් හා ඉක්මනින් තේරුම් ගන්නවා නමුත් අනිත් අතට වචන මගින් විස්තර ඇති ප්‍රශ්න තේරුම් ගන්නට දෙතුන් විටක්ම කියවන්නට වෙනවා.

ඒ නිසා හැකි සෑම විටම රූප සටහන් මගින් ඔබේ පිළිතුර විස්තර කරන්න. මේවා දළ රූප සටහන් වීම ප්‍රමාණවත්. අඩිරූලක් අරගෙන ගාණට මිම්මට අදින්න අවශ්‍ය නෑ.අවශ්‍ය වන්නේ පැහැදිළි රූපයක් විතරයි.
විභාගයකදී භාවිතා කරන්න පුළුවන් තවත් වැදගත් අංගයක් වන්නේ වගු භාවිතයයි. බොහෝ විභාග වලදී සන්සන්දනය කිරීමේ ප්‍රශ්න ඉදිරිපත් වනවා. වාසි අවාසි විස්තර කිරීම එහෙමත් යම් කරුණු දෙකක් හෝ වැඩි ගණනක් සංසන්දනය කිරීම වගේ දේවල් බොහොම සුලබයි. එවැනි අවස්ථාවකදී ඡේද මගින් විස්තර කිරීමට වඩා වගු මගින් විස්තර කිරීම බලන්නාට මෙන්ම ලියන්නාටද පහසුවක් ඇති කරවනවා. කොහොමද ලියන්නාට මින් පහසුවක් ඇති කරවන්නේ? ඡේද ගණන් ලියනකොට වගේ නෙමෙයි වගුවක් සකසන විට හිතේ සංසන්දනාත්මක අදහස්, කරුණු ඇති කිරීම පහසු කරවනවා. ඒ නිසා වඩා සාර්ථක උත්තරයක් අවසානයේදී පිළියෙල කරන්නට පුළුවන්. ඒ වගේම වගුවක් තුළින් බලන්නාට ඔබේ සංසන්දනය ප්‍රභලව නිරීක්ෂණය කරන්නට පුළුවන් වීමත් සිදුවෙනවා.

අනිත් වැදගත් කාරණය වන්නේ පුළුවන් තරම් ඡේද වෙනුවට කරුණු වශයෙන් (point form) තමන්ගේ පිළිතුර දැක්වීම. බොහොමයක් සිසුන්ගේ අත් අකුරු එතරම් පැහැදිළි නැතිනිසා මෙවැනි ක්‍රම මගින් වඩා වැඩි පැහැදිළිතාවයක් තම තමන්ගේ පිළිතුරු පත්‍රය වෙත ලබා දෙන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ මගින් උත්තර පරීක්ෂාකරන පුද්ගලයාට පුදුමාකාර මානසික පහසුවක්ද ඇති කරනවා.