Wednesday, July 25, 2012

උසස් පෙළට දැන් ලෑස්තිද?


නිමේෂ්ට ඉංග්‍රීසි වතුර වගේ කතා කරන්න පුළුවන්. ඒ වුනාට විභාගයේදි නිමේෂ්ට වඩා ඉංග්‍රීසි වලට ලකුණු ගන්න ළමයි දහයක් පහළවක් විතර ඉන්නවා. චමත්ට ඉලෙක්ට්‍රොනික් වැඩ කිරි කජු වගේ පුළුවන් විශ්ව විද්‍යාල සිසුවෙක්. ඒ වුනාට චමත්ට විභාගයේදී ඉලෙක්ට්‍රොනික් වලට හම්බවුනේ B+ එකක් විතරයි. අපිට ජීවිතයේදී මේවගේ යාළුවෝ ඕනෑ තරම් මුන ගැහිලා ඇති.   ඇයි මේ දක්ෂයන්ගේ දක්ෂකම් විභාගයකින් මනින්න බැරි? ඒක අනිවාර්යයයෙන්ම විභාග ක්‍රමයේ ඇති දුර්වලතාවයක්. අවුරුද්දක් තිස්සේ ඉගෙන ගත්ත දේවල් පැය දෙකකින් තුනකින් මනින්නේ කොහොමද කියන එක ගැටළුවක්. අනිත් අතට වත්මන් විභාග ක්‍රමය වෙනුවට යොදාගන්න පුළුවන් වෙනත් ප්‍රායෝගික ක්‍රමයක් තවමත් අප සතුව නැති බවත් පිළිගන්න ඕනේ. අදුරට සාප කරනවාට වඩා එක පහනක් හෝ දැල්වීම වැදගත් නිසා පවතින ක්‍රමයට දොස් නගන්නේ නැතිව පවතින ක්‍රමය තුළ ජයගන්නේ කොහොමද කියලා සිතීම වැදගත්.

තොරතුරු තාක්ෂණය, සන්නිවේදනය, IT කියන්නේ අපේ යුගයේ වචන. ඔබ විභාගයකට මුහුණ දීමට සූදානම් වන විට ඔබ පැහැදිළිව තේරුම් ගතයුතු කරුණ වන්නේ විභාග ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීම යනු එක්තරා සන්නිවේදන ක්‍රමයක් බවයි. අපට කෙලින්ම විභාග පරීක්ෂකවරයෙක් ලගට ගොස් අපේ දැනුම, දක්ෂතා ඔප්පුකර පෙන්විය නොහැකි නිසා අප වෙනුවට අපේ උත්තර පත්‍රය  විභාග පරීක්ෂකවරයා වෙත යොමු කරනවා. සරලව කියනවා නම් අපේ උත්තර පත්‍රය අපේ නියොජිතයායි. අපේ වැඩක් අප වෙනුවෙන් කරන්න කියා වෙන කෙනෙකුට පවරනකොට අපි ඒක ආවට ගියාට කරන්නේ නෑ. අපි ඒ වැඩේ හරියට කරන්න පුළුවන් විශ්වාසවන්ත කෙනෙකුට විතරයි පවරන්නේ. උදාහරණ විදිහට

  • ·         ගමනක් යනවිට ගේ දොර බලා ගැනීමට කෙනෙකුට පැවරීම
  • ·         බැංකුවට ගොස් බිලක් ගෙවීම
  • ·         පාසලේ සිට ළමයාව ගෙදර එක්කාගෙන ඒම

වැනි සිද්ධි ගත්විට ඒ වැඩේ බාර දෙන්න කලින් අපි දෙපාරක් හිතනවා. ඉතින් ජීවිතයේ දිශාව තීරණය කරන විභාගයකදී අපව නියෝජනය කරන උත්තර පත්‍රය නිවැරදිව සකස් කර ගන්නේ කොහොමද කියන එක ගැන යම් පැහැදිළි අදහසක් තිබිය යුතුමයි.

උත්තර පත්‍ර පරීක්ෂකයෙක් අපගේ උත්තර පත්‍රය පමණක් නොවෙයි පරීක්ෂා කරන්නේ. ඔහු ඒ හා සමාන උත්තර පත්‍ර සිය දහස් ගණනක් පරීක්ෂා කරනවා. ඒ නිසා අපි හැමවිටම උත්සාහ කරන්න ඕනේ උත්තර පත්‍ර පරීක්ෂකවරයාට කිසිම අපහසුතාවයක් නැතිව පරීක්ෂා කරන්න පුළුවන් උත්තර පත්‍රයක් නිර්මාණය කිරීමට. උත්තර පත්‍ර පරීක්ෂකවරයාට අපගේ උත්තර පත්‍රය බැලීම වෙහෙස ඇති කරවනවා නම් ඔහු අපට දෙන්න පුළුවන් උපරිම ලකුණු ප්‍රමාණය ලබා නොදෙන්නත් පුළුවන්. උත්තර පත්‍ර පරීක්ෂකවරයාව  වෙහෙසට පත් නොකරන්නේ කෙසේද? සරලම පිළිතුර නම් පිළිතුරු පැහැදිළිව උත්තර පත්‍රය තුළ සටහන් කිරීමයි. ඒ සදහා,

  • ·         පැහැදිළිව ප්‍රශ්නයේ අංකය, අනුකොටස් වල අංක උත්තර පත්‍රයේ වම් අත තීරුවේ ලියන්න.
  • ·         වම් අත තීරුවේ (හෝ පරීක්ෂකවරයාට වෙන්කර ඇති තීරුවේ) වෙන කිසිවක් නොලියන්න.
  • ·         ප්‍රශ්නයක අනුකොටස් අතර රූලක හෝ දෙකක පරතරයක් තබන්න.
  • ·         අනිවාර්යයයෙන්ම සෑම ප්‍රශ්නයකටම පිළිතුරු අළුත් පිටුවකින් ආරම්භ කරන්න.

 කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා බොහොම සරල දේවල්. මෙවැනි දේවල් අත්‍යවශය නෑ කියලා. නමුත් එහෙම හිතන්න කලින් පහළ රූප දෙක බලන්න.
රූපය 1
රූපය 2



   පළවන රූපය ඉහත උපදෙස් අනුගමනය කර ඇති නිසා ප්‍රශ්නයේ අනුකොටස් කිසිම අපහසුතාවයකින් තොරව තෝරාබේරා ගන්නට පුළුවන්. නමුත් දෙවන රූපයේ අනු කොටස් අතර බැලූබැල්මට ඇති පටලැවිලි සහගත තත්වය නිසා සිසුවා කියන්නට හදන දේ එක් වරම ඒ ආකාරයෙන් පරීක්ෂකවයාට තේරෙන්නේ නැති වන්නට පුළුවන. අප තේරුම් ගත යුත්තේ පිළිවෙලකට උත්තර පත්‍රය ඉදිරිපත් කිරීම තුළින් වැඩි ලකුණු ලැබීම කෙසේ වෙතත් අපට හිමි ලකුණ ඒ ආකාරයෙන් සුරැකීම සිදුවන බවයි. නමුත්  අපිළිවෙලට ඉදිරිපත් කිරීම නිසා ලැබිය යුතු ලකුණුත් ඒ ආකාරයෙන්ම නොලැබෙන්න පුළුවන්.

මෙහිදී සදහන් කලේ විභාගයකදී අනුගමනය කළ යුතු සරලම කරුණු කිහිපයක් පමණයි. මීටත් වඩා එහාට ගිය කරුණු කාරණා කිහිපයක් හෙට අනිද්දාම අපි කථා කරමු.