Wednesday, March 31, 2010

2020 කරා .......... අපිට මොකද උනේ?

කතාව පටන් ගන්න කලින් අපි ටිකක් අතීතයට යමු. වැඩි ඈතකට නෙමෙයි මීට අවුරුදු 60කට විතර අතීතයට. හරියටම කියනවා නම් වර්ෂ 1955 ට. ඒ කියන්නේ අපි නිදහස ලබලා වසර හතක් ඉක්ම ගිය තැන. ඇත්තටම එදා රටේ ආර්ථික තත්වය මොනවගේද? ටිකක් බලමු ඒ ගැන.
රටේ මුලු ආදායම - රුපියල් මිලියන 1159
රටේ මුලු වියදම - රුපියල් මිලියන 1008
අයවැය අතිරික්තය - රුපියල් මිලියන 91
විදේශීය වත්කම් ප්‍රමාණය - ඩොලර් මිලියන 258 ( මෙය එවකට මාස 10ක ආනයන වලට ප්‍රමාණවත් විය)
මුලු විදේශ ණය - ඩොලර් මිලියන 43 ( දල ජාතික නිෂ්පාදනයෙන් 3.9%)
එදා මුලු මහත් ආසියාකරයේම ලංකාවට වඩා ඉදිරියෙන් හිටියේ ජපානය පමණයි. නමුත් ජපානය ඒ වන විටත් යුද්ධයෙන් වූ හානියෙන් පීඩා විදිනවා. කොරියාව යුද්ධයෙන් දෙකඩ වෙලා. භාරතය ඉන්දියාව පකිස්තානය ලෙස දෙකඩ වෙලා. එදා ආසියාවේ පැහැදිළි අනාගතයක් හිමි ඒ සදහා හොද පදනමක් ඇති රට වශයෙන් සැලකුවේ අපේ මේ ලංකාවයි. ආසියාවේ ඇතැම් රටවලට අදටත් නැති පැහැදිලි නීති පද්ධතියකින්, විධිමත් රාජ්‍ය සේවයකින් මෙන්ම විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයකින් පමණක් නෙවේ මනා මාර්ග පද්ධතිකින් යුක්ත වූ මේ පුංචි රට බොහෝ දිගු ගමනක් යාවි යැයි බොහෝ ලෝක නායකයන් සිතු‍වා. සිංගප්පූරුවේ ලී කුවාන් යූ ඒ අතරින් එක් අයෙක්. එදා මේ තත්වය නිකම් හරියට හාවාගෙයි ඉබ්බගෙයි රේස් එක වගෙයි. නමුත් අවාසනාවකට මේ කතාව අන්තිමට අපේ ආච්චිලා අපට කියා දුන්නු හාවාගෙයි ඉබ්බාගෙයි කතාව වගේම වුනා. අන්තිමට ඉබ්බො ඔක්කෝම ටික හාවා පහු කරගෙන ගියා.
එදා අපේ තොටලග හා වෙනත් ප්‍රදේශ වල ඉන්න දුප්පත් පැල්පත් වාසීන් ඉන්න ප්‍රදේශ වලට කිව්වේ කොරියාව කියලයි. ඇත්තටම එදා මුලු කොරියාවම පැල්පත් වලින් පිරී ඉතිරුනා. නිකම් හරියට මහා අනාත කදවුරක් වගෙයි. ඒත් අද? අපේ කොරියාව නම් එහෙමමයි. හැබැයි කොරියාව නම් බොහෝම දුර ගමනක් ගිහින්. එදා අපේ රටේ ඒක පුද්ගල ආදායමෙන් තුනෙන් එකක් තිබූ කොරියවේ අද ඒක පුද්ගල ආදායම අපේ වගේ දොළොස් ගුණයක්.
මේ තත්වය ගැන සිංගප්පූරුවේ නායක ලී කුවාන් යූ මහතා තම තුන්වන ලෝකයෙන් පළමු ලෝකය කරා යන ග්‍රන්ථයේ මෙසේ සදහන් කර ඇත.
Ceylon was Britain’s model Commonwealth country. It had been carefully prepared for independence. After the war, it was a good middle-size country with fewer than 10 million people. It had a relatively good standard of education, with two universities of high quality in Colombo and Kandy teaching in English, a civil service largely of locals, and experience in representative government starting with city council elections in the 1930s. When Ceylon gained independence in 1948, it was the classic model of gradual evolution to independence.
Alas, it did not work out. During my visits over the years, I watched a promising country go to waste
ඉතින් ‍‍මොනවද හිතෙන්නේ? දුකක්, කේන්තියක්, කළකිරීමක් එහෙමත් නැත්නම් ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැක ගන්නේ වගේ හැගීමක්? හැබැයි තියෙන හකුර රැක ගන්නා අතරම ගිය හකුරත් කෙසේ හෝ සොයා යන්නට කාලය ඇවිල්ලා කියලයි මම නම් හිතන්නේ.
මේක කියවගෙන යනකොට ඕනෑම කෙනෙකුට හිතෙන දෙයක් තමයි ඇයි අපිට මෙහෙම උනේ කියලා. ඇත්ත අපිට මෙහෙම උනේ ඇයි කියලා ආපස්සට හැරිලා බලන්නත් කාලය ඇවිල්ලා. එහෙම නැතිවුනෝතින් අනාගතයේදීත් අපි අතින් ඒ වැරදි නැවත නැවතත් සිදු වේවි. අනිත් අතට අනෙකුත් රටවල් අපව පසුකරගෙන සංවර්ධනය කරා ගිය මාර්ගය කුමක්ද? ඔවුන්ගේ උපක්‍රම මොනවාද කියලත් හොයල බලන්න කාලය ඇවිත්.
අපි නිදහස ලබලා වසර 60කුත් ගෙවිලා ගිහින්. මේ අවුරුදු 60න් අවරුදු 50කටත් වැඩි කාලයක් මේ රටේ බොහෝ අය දේශපාලන තීන්දු තීරණ ගත්තේ බඩ ගැන හිතලයි. ඔබත් මමත් අපේ දෙමාපියන් විතරක් නෙමෙයි ආච්චි සීයා ද මේ ගොඩට අයත් වෙනවා. ආර්ථිකයේ ප්‍රධානතම නියමයක් තමයි ඉල්ලුමට අනුව සැපයුම. මෙය දේශපාලනයටත් අදාළයි මොකද එක්තරා ආකාරයකට දේශපාලනය යනු වෙළද ‍පොළකි. ඒ නිසා අපේ දේශපාලන පක්ෂත් ජනතාවගේ බඩ ඉලක්ක කරගෙන දේශපාලනය කළා. අදටත් එක්තරා ප්‍රමාණයකට කරනවා. හාල් සේරුව, ධාන්‍ය රාත්තල දේශපාලන කරලියට ආවේ අන්න එහෙමයි. මෙවැනි පසුබිමක් තුළ පෙර සදහන් ආකාරයේ ආ මග පිළිබද පසුවිපරමක් මෙම සමාජයෙන් බලාපොරොත්තු වන්නට බෑ.
නමුත් වසර දෙදහසින් මෙහාට මෙහි යම් වෙනස් කමක් ක්‍රමයෙන් දකින්ට ලැබෙනවා. පසුගිය ජනාධිපතිවරණය ගත්විට මේ රටේ අතිමහත් බහුතරයක් කුමන අපේක්ෂකයකුට තම මනාපය පළ කළත් ඒ පළ කලේ තමන් බඩට වඩා මේ රටට යමපත් කිරීමට බව අප තේරුම් ගත යුතුයි. අන්න ඒ නිසයි ආ මග දෙස ආපසු හැරී මේ රටට අවැසි තේරුම් ගැනීමට කාලය ඇවිත් කියා පැවසූයේ.
අපට වැරදුනේ කෙසේද කියා සංවදෙයක් මෙන්ම ඒ වරද හදාගෙන ඉදිරියට යන්නේ කොහොමද කියන එක ගැන සංවාදයක්ද අප අතරින්ම ඇතිවිය යුතුය. ඇත්තෙන්ම මේ ගැන මේ ලිපියෙන් කතා කරන්නට ගියෝතින් මේ ලිපිය ඕනෑවට වඩා දික් වේවි. ඒ නිසා ඒ ගැන අපි ඉදිරි ලිපියකින් කතා කරමු. ඒ වගේම මේ ඔබේ අදහස් ඉදිරි ලිපි සකස් කිරීමේදී බෙහෙවින් වැදගත් වේවි. මුලින් කිව්වා වගේ අපට මේ පිළිබදව සංවාදයක් ඕනෑ කරන‍වා. මේ ඒකට හොදම කාලයයි.
(මූලාශ්‍ර පාඨලී චම්පික රණවකයන්ගේ ඉදිරි දැක්ම 2020)

Sunday, March 21, 2010

BTI බැක්ටීරියාව

BTI බැක්ටීරියාව එහෙමත් නැත්නම් Bacillus thuringiensis israelensis යන බැක්ටීරියාව Bacillus thuringiensis යන බැක්ටීරියා වර්ගයේ එක් විශේෂයක්. Bacillus thuringiensis කෘමිනාශක හැකියාවක් සහිත බැක්ටීරියා විශේෂයකි. මෙය delta-endotoxin, හෝ "toxic crystal" ලෙස හදුන්වන ප්‍රෝටීනය නිපදවන අතර එය අදාළ කෘමියාගේ ජීර්ණපද්ධතිය අක්‍රිය කිරීමට සමත්කම් දක්වයි. ඒ අනුව මෙම බැක්ටීරියා විශේෂ කෘමිනාශක ලෙස භාවිතයේදී එය කෘමියාගේ ශරීරගත විය යුතුය. එවිට ජීර්ණපද්ධතිය අක්‍රිය වී කෘමියා කුසගින්නේ මිය යයි.


කෘමියා තම ශරීරය පුරා ආහාර ගබඩා කරගන්නා සමය (larva) මෙම බැක්ටීරියාව ක්‍රියාත්මක කළයුතු අවධියයි. මෙම බැක්ටීරියාව ජලයේ පමණක් නොව ගස්වල කොළ වල මෙන්ම පොළවේද පවතී.


මේ අනුව මෙම බැක්ටීරියාව විනාශකරන්නේ මදුරු බිත්තර නොව මදුරු කීටයායි. දැන් විමසිලිමත් මනසකට ඇතිවිය යුතු ගැටලුව නම් මෙම බැක්ටීරියාව මදුරුවන් පමණක් නොව අනෙකුත් කෘමීන්ද විනාශ කරනවාද යන්නයි. සමස්තයක් ලෙස ගත්විට පිළිතුර ඔව්. නමුත් පෙර සදහන් කල පරිදි Bacillus thuringiensis බැක්ටීරියාවේ විශේෂ කිහිපයක් පවතී. ඉන් Bacillus thuringiensis israelensis යන්න මදුරුවන් හා Black fly හා Fungus gnat යන කෘමීන් මර්ධනයට විශේෂිත වේ. දැනට සොයාගෙන ඇති කරුණු වලට අනුව ඉන් වෙනත් ජීවීන්ට අනතුරක් නැත. මිනිසාට කිසිසේත්ම අනතුරක් නැත්තේ අපගේ ආම්ලික ආමාජශය තුළ ඉහත කී ප්‍රෝටීනය ක්‍රියා නොකරන නිසාය.


නමුත් මෙම බැක්ටීරියවේ වෙනත් විශේෂ මකුළුවන් පළගැටියන් සමනළයන් විනාශ කිරීමේ හැකියාවෙන් යුක්ත වේ.


අප ප්‍රවේසම් විය යුත්තේ ඇයි?


අපේ රට ජෛව විවිධත්වයෙන් බහුල රටකි. අපේ රටට ආවේණික සතුන් කෘමීන් විශාල සංඛ්‍යාවක් ඇත. මොවුන්ට මෙම Bacillus thuringiensis israelensis හි බලපෑම ගැන නිශ්චිත දත්ත නැත. ඇත්තේ අනුමාන පමණී. රටකට ආගන්තුක ජීවීන් ගෙන්වන විට එය ඉතාමත්ම ප්‍රාවේශමෙන් කළ යුතුය. ඒ එම ජීවීන් එම රටෙහි ජීවීන්ට කෙසේ ප්‍රතිචාර දක්වයිද කියා නිෂ්චිතව කිව නොහැකි නිසාය. ඇතැම් විට යෝධ නිදිකුම්බා වැනි ආක්‍රමණකාරී ස්වභාවයකින් විශාල පරිසර හානියක් ද සිදුවිය හැක. එනිසා මෙම BTI බැක්ටීරීයාව ලංකාවට ගෙන්වීමට පෙර එහි සුදුසු බව 100%කින් තහවුරු කරගත යුතුය.


නමුත් නැවතවරක් මතක් කළ යුත්තේ BTI බැක්ටීරීයාව ලොව අවදානම අවම කෘමි මර්ධන ක්‍රමයක් ලෙස සැලකෙන බවයි.


අපගේ අවධානය යොමු විය යුතු තවත් කරුණක් පවතී. එනම් බැක්ටීරියා හි ජීවිත කාලය ඉතා කෙටිය. මේ නිසා අපට සාපේක්ෂව ඔවුන් ඉතා කෙටි කාලයකින් විශාල පරම්පරා සංඛ්‍යාවක් බිහිකරයි. මේ නිසා ඔවුන්ගේ ජානවල යම් යම් වෙනස් වීම් සිදුවීමේ වේගයද වැඩිය. මේ නිසා මෙවැනි බැක්ටීරියාවක් අපගේ පරිසරයට මුදාහළ විට අපගේ පරිසර තත්වයන් සමග කාලානුරූපීව එය කෙසේ අනුවර්තනය වේදැයි අවධානයෙන් සිටිය යුතුය.


පසුවදන


ඩෙංගු මර්ධනය කිසිසේත් BTI බැක්ටීරීයාව මගින් පමණක් ඉටුකර ගත නොහැක. මෙම BTI බැක්ටීරීයාව මගින් ඩෙංගු මර්ධනය කිරීමට නම් මදුරුවන් බෝවන සෑම ස්ථානයකටම මෙම බැක්ටීරියාව ව්‍යාප්ත කළ යුතුය. එනම් ඔබගේ ගෙවත්තේ වතුර එක්රැස්වෙන පොල්කටුව තුළට මෙම බැක්ටීරියාව පැමිණිය යුතුය. මෙය එසේ පැමිණියද කාලයත් සමග එම බැක්ටීරියාව විනාශ වීමටද පුළුවන් බැවින් නිතර තිතර ව්‍යාප්ත කිරීම් සිදුකල යුතුය. මෙය එතරම් ප්‍රායෝගික නැත. ඒ නිසා දිගින් දිගටම මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීද සිදුකළ යුතුය. එහි වගකීම මුළු මහත් සමාජයම සතු කාරණයකි. BTI බැක්ටීරීයාව භාවිතා විය යුත්තේ මෙම ඩෙංගු මර්ධන ව්‍යාපෘතියේ සාර්ථකත්වය වැඩිකර ගැනීමට හා එය තිරසාර විසදුමක් බවට පත්කර ගැනීමටය.

ඩෙංගු BTI හා අපි

ඩෙංගු...පසුගිය කාලය පුරාම වැඩිපුරම කතාබහට ලක්වුනු මාතෘකාවක්. මෙවර ඩෙංගු සමග තවත් අළුත් වචනයක් සෑම තැනම කියවුනා. ඒ තමයි BTI බැක්ටීරියාව. මේ සමගම සමාජය තුළ හටගත් මතය නම් කියුබාව මෙම බැක්ටීරියාව මගින් ඩෙංගු උවදුර ජය ගත්තා නම් අපටත් එය කළ හැකි නොවේද යන්නයි. ඇත්ත වශයෙන්ම අපට එය කරන්න පුළුවන. අද සමාජය විශ්වාස කරන්නේ කියුබාවෙන් මෙම බැක්ටීරියාව ගෙන්වා රට පුරා එය ව්‍යාප්ත කිරීමෙන් ඩෙංගු උවදුර නිවාරණය කරගත හැකි බවයි. නමුත් එය ඒ ආකාරයෙන් සරලව දැකිය හැකි කාරණයක්ද?


කියුබානුවන් හා ඩෙංගු උවදුර


‍ඩෙංගු ඉතිහාසය පුරාම වරින් වර කියුබාවට මහත් හිසරදයක් වූ වසංගතයක්. 1981 දී පමණ පැතිරී ගිය වසංගතයෙන් රෝගීන් 158 දෙනෙක් මියගියා. සුපුරුදු පරිදි මෙය ඇමරිකානු කුමන්ත්‍රණයක් ලෙස හැදින්වුවද කියුබානුවන් මීට මුහුණ දීමට පියවර ගනු ලැබුවා. ඒ සදහා ඔවුන් විද්‍යාත්මකවත් දේශපාලන හා සමාජීය වශයෙන් එක්රැස් වූවා. BTI බැක්ටීරියාව අයත් වන්නේ විද්‍යාත්මකව මේ සදහා ඇතිකල විසදුම් ගොන්නටයි. මෙම විසදුම යථාර්තයක් බවට පත්කර ගන්නට දස දහස් ගණනක් සිවිල් ජනතාව එක් රැස් වූවා. ඩෙංගු මදුරුවා විනාශකිරීමේ වගකීම බැක්ටීරියාවට පමණක් බාර නොදී මිනිසුන් තම අවට පරිසරයේ මදුරුවන් බෝවන තැන් නිරන්තරයෙන් සොයාබලා විනාශ කරනු ලැබුවා. එරට ජනමාධ්‍යයද ඩෙංගු රෝගීන් ගණන ගණන් කරනු වෙනුවට ‍ඩෙංගු මර්ධන ව්‍යාපෘතියට මිනිසුන් උන්නදු කරවනු ලැබුවා. දැනුවත් කරනු ලැබුවා. රජය මෙම සමස්ථ ක්‍රියාවලියට අවැසි නායකත්වය දෙනු ලැබුවා. කියුබාව ‍ඩෙංගු ජයගත්තේ සාමූහික ක්‍රියාවලියක් ලෙසිනි. BTI බැක්ටීරියාව එම ක්‍රියාවලිය වේගවත් කරනු ලැබුවා පමණී


BTI බැක්ටීරියාව හා එහි ක්‍රියාවලිය ගැන ඊලග ලිපියෙන් කතා කරමු

Sunday, March 14, 2010

ග්ලුකෝමා - ආලෝකය සොරා ගන්නා

අපට ජීවිතයේ බොහොම සුලබව අසන්නට ලැබෙන කියමන් දෙකක් තමයි ‘දන්නෙම නැතුව උදේ වෙලා’ හා ’දන්නෙද නැතුව රෑ වෙලා’. ඇත්තටම අපි ඇස් පියාගෙන හිටියෝතින් ඉර නැගීමවත් ඉර බැසීමවත් අපට දැනෙන්නෙ නෑ. අන්න ඒ විදිහටම අපට නොදැනීම අපේ පෙනීම එහෙමත් නැත්නම් අපේ ජීවිතයේ ආලෝකය හෙරකම් කරගෙන යන රෝගයක් තමයි ග්ලුකෝමා Glaucoma කියන්නේ.

අනිත් ඇස් රෝග මෙන්ම ග්ලුකෝමා ද දෘෂ්ඨික ස්නායුවට ( ඇසේ සිට මොළයට පණිවිඩ ගෙන යන ස්නායුවට) හානි සිදු කරනු ලබනවා. මේ නිසා ඇසේ පෙනීම පිරිහෙන අතර ප්‍රතිකාර සිදු නොකලෝතින් අන්ධභාවයට පත්වීම වළක්වන්නට බැරිය.

ඇසට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ගෙන ඒමටත් අපද්‍රව්‍යය ඉවත් කිරීමටත් ජලමය දියරයක් නිතරම ඇස තුළ නිපදවෙනවා. ඇතැම් පුද්ගලයන්ගේ මෙම දියරය ගමන් කරන මාර්ගයේ විවිධ අවහිරතා ඇතිවෙනවා. නමුත් දිගින් දිගටම දියරය නිපදවෙන බැවින් ඇස තුළ පීඩනයක් වර්ධනය වනවා. ග්ලුකෝමා රෝගයේ නිධානය මෙයයි.

මෙහි භයානක කම කුමක්ද?

ඇත්තෙන්ම මෙම රෝගයට පැහැදිළි රෝග ලක්ෂණයන් නොමැත. රෝගියාට තම පෙනීමෙහි අඩුවක් හෝ වෙනත් අමුත්තක් නොදැනේ. බොහෝ විට නොදැනීම අන්ධභාවයට පත් වීමට ඇති ඉඩකඩ වැඩිය. නමුත් පහත කරුණු එකක් හෝ වැඩි ගණනක් තිබීම රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩි කරයි.

1. වයස අවුරුදු 40ට වැඩි වීම
2. මව පියා සහෝදර සහෝදරියන් හෝ කිට්ටු නෑදෑයන්ට රෝගය වැළදී තිබීම
3. අවිදුර දෘෂ්ඨිකත්වය - ළග පමණක් පෙනීම
4. කලක පටන් ඉරුවාරදය පැවතීම
5. කෝට්සෝන් (ස්ටීරොයිඩ්) අඩංගු බෙහෙත් භාවිතය

තවමත් මෙම රෝගය සුව කිරීමට නිසි ප්‍රතිකාරයක් සොයා ගෙන නැත. වාසනාවන්ත ලෙස රෝගය හදුනා ගැනීමට හැකිවූවෝතින් එය පාලනය කිරීම පමණක් කළ හැක. නැතහොත් තමන්ට හොරෙන් ජීවිතය අදුරු වී යනු ඇත.

නිකම් ලෙඩ ගැන කියලා බය කරනවා කියලා හිතන්න එපා. මම මේක ලිව්වේ මගේ පෞද්ගලික අත්දැකීමක් නිසයි. ඒ මගේ ළගම නෑදෑයෙකුට මෙය වැළදී ඇති බව බොහොම අහන්බෙන් හොයා ගත්ත නිසා. තම බිරිදට කණ්නාඩි කුට්ටමක් ගැනීමට ගිය අවස්ථාවේ නිකමට වගේ තමන්ගේ ඇස් ද පරීක්ෂා කරගත් නිසා අදටත් ආලෝකය විදින්නට ඔහු වාසනාවන්ත වුනා. ඒ වාසනාව හැමෝටම ලැබෙන්නයි මේක ලිව්වේ.