Thursday, August 6, 2015

ටික ටික හෙළි වන යුධ අපරාධ අවදානම

මේ දවස් වල ඡන්දය හින්දා හැමෝටම අමතක වෙලා තිබුනත් තව මාසයක් යනකොට මේ රටේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ යුධ අපරාධ චෝදනා වාර්තාව. ඒක මොනවගේ වෙයිද කියලා විවිධ පුද්ගලයන්ගේ ප්‍රකාශ වලින් අපිට ඉඟියක් ලබා ගන්න පුළුවන්. (මම ප්‍රාර්ථනා කරනවා මෙතනදී මගේ පුරෝකථනයන් වරදින්න කියලා)

  • Heavy wait battle: Sirisena wants to wait, but UNP cannot (ද සන්ඩේ ටයිම්ස්-  2015 ජුනි 21)

මහින්ද-මෛත්‍රී සමඟි කරන්න පත්කල නිදහස් පක්ෂයේ 6 දෙනාගේ කමිටුව ජනාධිපති මෛත්‍රීපාල මුණගැහිච්ච වෙලාවේ ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශයක් කරලා තියනවා. පුවත්පත ඒක වාර්ථා කරන්නේ මෙන්න මේ විදිහට.

''He said three different countries were now probing Rajapaksa but did not name them. This was besides the strong likelihood of critical references against Rajapaksa in the probe report on alleged war crimes.''

මේ වෙලාවේ මහින්ද ගැන විමර්ෂණයක් කරන්න රටවල් තුනකට අවශ්‍ය නම් ඒ යුධ අපරාධ ගැන මිසක් වෙන දෙයක් ගැන නොවන බව පැහැදිළියි. යුධ අපරාධ වාර්තාවෙන් මහින්ද රාජපක්ෂට ඍජුවම චෝදනා එල්ල වෙන් පුළුවන් බවට පළවෙච්ච පළවෙනි ප්‍රභලම ඉඟිය මෙයයි. වැදගත්ම දේ තමයි මේ පුවත්පත වාර්තා කරල තිබ්බ දේ කිසිම කෙනෙක් වැරදියි කියලා ප්‍රකාශයක් කලේ නැහැ.


  • Sri Lanka polls timed ahead of U.N. war crimes report to foil Rajapaksa comeback (රොයිටර් වෙබ් අඩවිය - 2015 ජූලි 6)
යුධ අපරාධ වාර්තාව ඉදිරිපත් වීමට පෙර මේ රටේ මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවය මේ පුවතින් පෙන්වා දෙනවා.

''A U.N. report on the last days of the war is due for release in September but an aide to President Maithripala Sirisena said diplomatic sources had warned it may be leaked in late August.


    The possibility of an early release prompted Sirisena to call elections for Aug. 17 to give his ally Prime Minister Ranil Wickremesinghe an edge and hopefully deny Rajapaksa any chance of a political resurgence, said sources close to Sirisena.

"Even if is not said openly, the U.N. report was considered when deciding the date," Champika Ranawaka, power and energy minister and one of Sirisena’s close allies, told Reuters.

Foreign diplomatic sources said some Western countries also worried the U.N. report could help Rajapaksa and urged Sirisena not to delay elections.''

මේ වාර්තාවෙන් කියවෙන විදිහට යුධ අපරාධ වාර්තාව මැතිවරණයට පෙර ඉදිරිපත් උනොත් එය පැහැදිළිවම මහින්දට මැතිවරණය ජය ගන්න උදව්වක් වන බවයි. එය මහින්දට ජය ගන්න උදව්වක් වන්නේ ඔහුට යුධ අපරාධ වාර්තාව හරහා යුධ අපරාධ චෝදනාවක් එල්ල වනවා නම් පමනයි. යුධ අපරාධ වාර්තාව හරහා ඔහු යම් වරදකරුවකු වීමේ අවදානමක් නැත්නම් ඒ හරහා මහජන සහයෝගයක් ලබා ගැනීමේ හැකියාවක් ඔහුට නැහැ. ඒ නිසා මහින්දට කෙළින්ම චෝදනා ඉදිරිපත් වන බවට පෙනෙන දෙවන ප්‍රභල ඉඟිය මෙයයි.


  • යුධ අපරාධ නිර්දේශ වලට රජයෙන් කොළ එළි (දිවයින - 2015 අගෝස්තු 07 )

ඒ වාර්තාවේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා

''සැප්තැම්බර් 15 දා ප්‍රකාශයට පත් වන ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයේ නිර්දේශ පිළිබඳව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

කොටි සංවිධානය සිදු කළ වරද ලෙස දක්‌වා ඇත්තේ ළමා සෙබළුන් බඳවා ගැනීම බවද එහි දක්‌වා තිබේ. මෙකී වාර්තාවෙන් සුදු කොඩි සිද්ධිය පිළිගෙන ඇත. එහි ප්‍රධාන සාක්‍ෂිකරු හිටපු නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම් යෑයි හෙළිවී තිබේ.''

තනි පුවතක් විදිහට මෙහි එතරම් ලොකු ඉඟියක් නැතිවුනත් ඇමති රාජිතගේ ප්‍රකාශත් එක්ක ගත්තාම වැදගත් දෙයක් තියනවා. ඒ ප්‍රකාශ නම්,

  • සුදුකොඩි ඔසවද්දී මරන්න නියෝග දුන්නා නම් බේරාගන්න බෑ - කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න (දිවයින - 2015 අගෝස්තු 06)

මෙහිදී ඇමතිවරයා මෙහෙම කියනවා

''යුද්ධය පැවැති අවස්‌ථාවේදී සුදු කොඩි උස්‌සාගෙන එන අය මරන්න කවුරුන් හෝ නියෝග දුන්නේ නම් ඔවුන් බේරා ගැනීමට නොහැකි බව කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ජිනීවා සමුළුවේදී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කළහොත් ඊට සැප්තැම්බර් මාසයේදී පිළිතුරු ලබාදෙන බව කී ඇමැතිවරයා යුද්ධයේදී සිදුවූ සැබෑ සිද්ධීන් වලදී ආණ්‌ඩුව පෙනී සිට සියලු දෙනා බේරාගන්නා බවද කියා සිටියේය.

එහෙත් යුද්ධයට මුවාවී විවිධ අපරාධ, මිනී මැරුම් කළ හෝ කිරීමට අණදුන් කිසිවකු වෙනුවෙන් පෙනී නොසිටින බවද ඇමැතිවරයා කීය.''

අනිවාර්යයෙන්ම මෙහිදී ඉදිරිපත්වන්නේ යුධ අපරාධ පිළිබද චෝදනාය. ඇමතිවරයාම කියන පරිදි අපරාධ කල අය වෙනුවෙන් පෙනී ඉන්නේ නැත. 

ඒ වගේම සන්ඩේ ටයිම්ස් පුවත්පතේ වාර්තාවේ ජනාධිපතිතුමා මෙහෙම කිව්වා කියලත් සඳහන් වෙනවා.

''If Rajapaksa agrees to accept his offer, Sirisena said there was a possibility of Rajapaksa being defended or saved.''

මෙහිදී ඔහුගේ යෝජනාව වූයේ

''He then made clear he was not prepared to make Mahinda Rajapaksa the prime ministerial candidate nor give him nominations to become a candidate at the parliamentary elections. He will also not be named on the National List. However, Sirisena said he could be given a ‘sambhavaneeya thanathurak’ or a distinguished position.''

ඒ අනුව මහින්ද ඇතුළු යුද්ධයට සම්බන්ධ වූවන් දඩයම් කිරීමේ පැහැදිළි අවදානමක් ඇති බව මම දකිනවා. ඒ වගේම ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්න වත්මන් රජය සූදානම් නැති බවත් කියවෙනවා. (නැවතත් මා ප්‍රාර්ථනා කරනවා මගේ අනුමානය වරදින්න කියලා)

කෙනෙකුට කියන්න පුළුවන් අපරාධයක් කරලා නැත්නම් ඇයි බය වෙන්නේ කියලා. ඒකට මට කියන්න තියෙන්නේ කාරණා දෙකයි.

1.නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
2. කන්න ඕනේ උනාම කබරගොයාත් තලගොයා වෙනවා

ඉදිරි මහමැතිවරණයේදි කැමත් පක්ෂයකට කැමති පුද්ගලයෙකුට මනාපය දීමට ඔබට අයිතිය හා නිදහස තියනවා. ඒකේ කිසි ගැටලුවක් නැහැ. කරුමෙට වගේ මේ දේවල් ඇත්ත උනෝතින් එදාට මතක්කර ගන්න මෙහෙම දේකුත් කවුරුහරි කිව්වා කියලා.




Saturday, January 10, 2015

දින සියය - ප‍‍ළමු කොටස (10/01/2015)

මැතිවරණයෙන් මෛත්‍රීපාල පාර්ෂවය පැහැදිළි ජයක් අත්කර ගනිද්දී හිටපු ජනාධිපතිතුමා ‍ගෞවරවාන්විතව තම ධූරයට සමු දුන්නේය. මෑත කාලයේ අප දුටු සාමකාමීම මැතිවරණය මෙය වූ අතර හිතුවාටත් වඩා හොඳින් සුහදව හා සාමකාමීව බල හුවමාරුවක් සිදු විය. ඒ සඳහා විශේෂයෙන්ම පැවති රජයටත් වික්‍රමසිංහ මහතාටත් ස්තූතිය පළ කල යුතුය.

සරල චාම් දිවුරුම් දීමේ උත්සවයක් පැවැත්වීමත් නැවත වතාවක් ජනාධිපති ධූරයට තරඟ කිරීමේ අදහසක් නැතිබව මෛත්‍රීපාල මහතා ප්‍රකාශ කිරීමත් පැසසිය යුතු කරුණකි. විශේෂයෙන්ම පළි ගැනීම් හා ප්‍රචන්ඩ සිදුවීම් තොරව නව රජය බිහිවීම ගැන ශ්‍රී ලාංකිකයන් ලෙස අප සතුටු විය යුතුය.

දින සියයේ පොරොන්දුව පරිදි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කරන ලද අතර එය මැතිවරණ පොරොන්දුවක් වීම නිසාම එයට ජනතා අනුමැතිය ලැබී ඇතැයි සැලකිය හැක. පාර්ලිමේන්තුවේ බහුතරය නැති පක්ෂයකින් අගමැති පත් කිරීම ව්‍යවස්ථා විරෝධියැයි යම් මතයක් ගොඩ නැගෙමින් පවතී. නමුත් ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත හැකියැයි තමන්ට හැඟෙන පුද්ගලයා අගමැතිවරයා වශයෙන් පත් කරන්නට ජනාධිපතිවරයාට බලය ඇත. මෙහි *හැඟෙන* යන වචනය ඉතා ප්‍රභලය. ඒ අනුව ඒ ගැන පාර්ලිමේන්තුවේ මතය විමසීමට අවශ්‍ය නැත. නමුත් දින 100 වැඩසටහනට අවශ්‍ය පාර්ලිමේන්තුවේ බහුතර හා ඇතැම් විට අවශ්‍ය 2/3 බලය දිනා ගැනීමේ අභියෝගය නව රජය ඉදිරියේ ඇත.
මේ අවස්ථාවේදී නිදහස් පක්ෂය හා මහින්දට සහය දැක්වූවන් කල යුත්තේ සුභවාදි ප්‍රවේශයක සිට මේ වැඩ පිළිවෙල දෙස බැලීමය. යහපත් දේට සහය දීමත් වැරදි දේ විවේචනය කිරීමත් හා ඒවා පරාජය කිරීමටත් කටයුතු කල යුතුය. මෙම දින 100 ඇතුළත රජය හා නිදහස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂය හැසිරෙන ආකාරයෙන් ඊලඟ පාර්ලිමේන්තුවේ ජයග්‍රාහකයා තීරණය කරනු ඇත.



Tuesday, December 30, 2014

තම තම නැණ පමණින් තොරා ගනිත්වා



2015 ජනාධිපතිවරණයට ඇත්තේ තව දින 10කටත් අඩු කාලයකි. 2005,2010 වසර වල මෙන් නොව මෙවර පැහැදිළිව එක පිළක් තෝරා ගැනීමට නොහැකිව ඇත. සරල බැලුවෝතින් මහින්ද හා මෛත්‍රී සතුව පැහැදිළි භයානක අනාගතයක්ද යම් යම් සුභවාදී බලා පොරොත්තුද ඇත.


හැමදෙනාම වැඩියෙන් කතා කරන මෛත්‍රී පිළ ගැන බැලුවෝතින් පැහැදිළිව පෙනෙන්නට තියෙන්නේ එක්තරා ආකාරයක කැඳ හැලියකි. සමහරුන් කියනා පරිදි 2005දී මහින්ද පැමිණියෙත් මෙවැනිම කැඳ හැලියක් සමඟින්ය. නමුත් එදා ශ්‍රීලනිප ජවිපේ හා හෙළඋරුම හවුලට වඩා එජාප හෙළ උරුම මුස්ලිම් කොනුග්‍රස් හා ටීඑන්ඒ හවුල රටට අහිතකර ඉතිහාසයකින් යුක්තය. මේතුල බෙදුම්වාදය පැළපදියම් වී ඇත. ඒ නිසා මෛත්‍රී ආවෝතින් නැවත බෙදුම්වාදය හිස ඔසවා රට අස්ථාවරවේ යැයි බියක් ඇති වීම සාධාරණය. අප කාටවත් එය එසේ නොවේ යැයි කිව නොහැක. මේ අතර මෛත්‍රීපාල ගෙන එන්නට තනන ව්‍යවස්ථා වෙනස අසාර්ථක වුවහොත් වන්නේ කබලෙන් ලිපට වැටීමකි. නමුත් යම් හෙයකින් විධායක ජනාධිපති ධූරයේ අත්තනෝමතික බලතල ඉවත් කර ස්වාධීන අධිකරණ පද්ධතියක් රටේ ස්ථාපනය කරන්නට හැකි වුවහොත් සුභදායක අනාගතයක් ඇතිවීමට යම් හැකියාවක්ද ඇත. නමුත් එය සුභවාදී බලාපොරොත්තුවක් මිස අනිවාර්යයෙන්ම සිදුවන්නක් ලෙස බොරු කීමට අපට නොහැක.


අනිත් අතට මහින්ද බෙදුම්වාදයට විරුද්ධව ක්‍රියා කරන බව පසුගිය කාලය පුරාවටම ක්‍රියාවෙන් ඔප්පු කර ඇත. බෙදුම්වාදය යනු වතුරේ පාවන රබර් බෝලයක් නම් ඔහු තම ශක්තියෙන් එය පාවීමට ඉඩ නොදී වතුරේ ඔබා ගෙන සිටී. මෙය ඇත්තටම තාවකාලික විසදුමකි. ඔහුගේ බලය ක්‍රමයෙන් පිරිහීමත් සමඟ ජාත්‍යන්තරව එල්ල වන පීඩනය හමුවේ ඔහුගේ වත්මත් ප්‍රතිපත්ති වලින් මිදීමට ඉඩක් ඇතත් එහි සම්භාවිතාවය අවම යැයි අපට උපකල්පනය කල හැක. ඒ මක් නිසාද යත් අද වනවිට ඔහුගේ ඡන්ද පදනම රැදී ඇත්තේ ඒකීය රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටින නිසාමය. නමුත් මහින්ද නැතිදාක ඒකීය බව (විශේෂයෙන්ම ඉඩම් හා පොලිස් බලතල) ප්‍රශ්නාර්ථයක් වන යුගය නැවත බිහිවනු ඇත. ඒ මහින්ද යනු රටේ ඒකීය භාවයට හා සුරක්ෂිත භාවයට යොදාගත හැකි තාවකාලික විසදුමක් මිසක් තිරසාර විසදුමක් නොවන බැවිනි.


නමුත් මහින්දගේ පාලනය තුළ අන් සියළු අංශ බිඳ වැටී ඇත. ඔහු ඇසට පෙනෙන භෞතින සංවර්ධනයක් කර ඇති බව සැබෑය. නමුත් ඒ වෙනුවෙන් රටක් විදිහට අපට ගෙවීමට සිදුවී ඇති මිල ඉතා ඉහළය. අනිත් අතට ඒ ව්‍යාපෘති මඟින් රටට කෙතරම් ආදායමක් ජනිත කර ඇත්ද යන්නද ප්‍රශ්නාර්ථයකි. අධිවේගී මාර්ග කෙතරම් හොඳ වුවත් ඒ සඳහා කල වියදම කෙසේවත් සාධාරණය කල නොහැක. මත්තල ගුවන් තොටුපොල නිසි අධ්‍යයනයකින් තොරව ඉදිකල තවත් සුදු අලියෙකි. හම්බන්තොට වරාය පමණක් යම් ප්‍රගතියක් ලබා ගනු ඇතැයි සිතිය හැක. සරලවම පවසනවා නම් මෙම ආර්ථික ප්‍රතිපත්ති හා පවතින නීතියේ බිඳ වැටීම තව අවුරුදු 7-8කට අප සමාජයට දරා ගැනීමට හැකිදැයි කියා සිතිය නොහැක. මෙවැනි තියුණු මැතිවරණ කාල සීමාවකදී පවා ඔහු තම අනාගත පාලනය යහපත් අතට හරවා ගන්නට කිසිම සූදානමක් නැති බවද පෙන්වා ඇති බවයි මගේ හැගීම. ඒ නිසා තාවකාලික විසදුම් හරහා ඒකීය රටක් පවත්වා ගනිමින් හා දූෂිත පාලනයක් පවත්වා ගනිමිනි තව වසර 8ක් මේ රට පාලනය වුවහොත් නැවත මහා විනාශයක් ඇති වීමටද ඉඩ ඇත. හෙළ උරුමය පවසන්නා සේ මැස්සෝ වහන්නේ තුවාලයක් ඇති විටය. මහින්ද මේ ආකාරයෙන්ම රට පාලනය කලහොත් විශේෂයෙන්ම තරුණ පරපුර අතර පවතින මේ තුවාලය ඔඩු දුවනු ඇත. රට කෑවත් අපි මහින්දට කියා මහින්ද දිනවා තව අවුරුදු 7-8ක් හූල්ලන්ට අපට නොහැක.


සරලවම පවසනවා නම් මෛත්‍රීපාලනයක් තුලින් වඩා හොඳ හෙට දවසක් බිහිවන බවට අපට සහතික විය නොහැක. මහින්දට තව වාරයක් දුන්නෝතින් රටට හිතකර පාලනයක් ඇති කරන බවටද සහතික විය නොහැක. කල හැක්කේ තම තම නැණ පමණින් තමන්ගේ හෘද සාක්ෂියට අනුව කාට හෝ ඡන්දය දීමය.  මෙවර අපට තව කෙනෙකුට කියන්නට බෑ අහවලා දිනවන්න කියලා. මොකද මේ යකුන් දෙදෙනාගෙන් එකෙක් අනෙකාට වඩා හොඳයි කියන්නට බැරි නිසාය. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව එක යකෙක් අනෙකාට වඩා හොඳ විය හැක. නමුත් එය සාපේක්ෂ බව අප තේරුම් ගත යුතුය. කොටින්ම ජවිපේ කියන්නා සේ මෙවර කාටවත් චරිත සහතික දීමට සක්කරයාටවත් බැරිය.

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ කවුරු දින්නත් එතනින් එහාට සිදුවන දේ හරිනම් හරි කියන්නටත් වැරදි නම් වැරදියි කියන්නටත් අපට කොන්දක් තිබිය යුතුයි. 2010 දී අපට ඒ කොන්ද නොතිබුන නිසා අද මේ තත්වය ඇති වී තිබෙන බවද කණගාටුවෙන් වුවද කිව යුත්තේය.

Sunday, June 2, 2013

සිංහලෙන් පාඩම් කියලා දෙන්න ඔබත් එනවාද?

http://www.openculture.com/2012/12/introducing_ka_lite_an_offline_version_of_the_khan_academy_that_runs_on_almost_anything.html


ඛාන් ඇකඩමිය එහෙමත් නැත්නම් ඛාන් ශාස්ත්‍රාලය ලංකාවේ අපට එතරම් හුරුපුරුදු නමක් නොවුනට අද වෙනකොට ලෝකයේ බොහොමත්ම ජනප්‍රිය නොමිලේ අධ්‍යාපනය සපයන වෙබ් අඩවියක්. පහුගිය දවස් වල මේ පිළිබදව බොහොම වැදගත් ලිපියක් පළවුනා අරුණි ශපිරෝගේ බ්ලොග් අඩවියේ.



බොහොම සරලව ආරම්භ කරපු ඛාන් ඇකඩමිය අද ලෝකයේ බොහෝ රටවල දරුවන් තමන්ගේ අධ්‍යාපන කටයුතු පහසු කරගන්න භාවිතා කරන්නේ එහි තියන සරල එහෙත් ප්‍රයෝජනවත් බව නිසයි. මේ ප්‍රයෝජනවත් බව නිසාම ඛාන් ඇකඩමියේ ඇති පාඩම් මාලාවන් විවිධ භාෂාවන් වෙත පරිවර්තනය කෙරෙමින් පවතිනවා. පරිවර්තනය කියන්නේ හඩ කැවීම හා උපසිරස යෙදීමයි.

තවමත් ලංකාවේ අන්තර්ජාලය භාවිතා වන්නේ චිත්‍රපට නැරඹීමට, ෆේස්බුක් යෑමට හා ප්‍රවෘත්ති බැලීමට වැනි කාරණාවලට පමණක් නිසාදෝ ඛාන් ඇකඩමියේ පාඩම් සිංහලට පරිවර්තනය කරන්නට වැඩි අවදානයක් යොමු වී නැහැ. අපට පුළුවන්නම් මෙම පාඩම් පරිවර්තනය කරන්න එහෙමත් නැත්නම් අපටම කියා පාඩම් මාලාවක් නිර්මාණය කරන්න අපේම රටේ නංගිලා මල්ලිලාට සෑහෙන්න ප්‍රයෝජනයක් වේවි. අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර ගත්විට අපේ රටේ සම්පත් බෙදීයාමේ ලොකු ගැටලුවක් තියනවා. දුෂ්කර ප්‍රදේශ වල සිසුන්ට කොතරම් භෞතික සම්පත් ලබා දුන්නත් ඒ ප්‍රදේශවල ඇත් ගුරුහිගයට විසදුම් දෙනතාක් කල් ඒ ප්‍රදේශවල සිසුන්ට කවදාවත් නිදහස් අධ්‍යාපනයේ නියම ඵල ප්‍රයෝජන අත්විදින්ට ලැබෙන්නේ නැහැ. අද වෙනකොට අන්තර්ජාලය හෙමින් හෙමින් සමාජය පුරා පැතිරී යන යුගයක ඒ හරහා අපේම රටේ අපේම සහෝදර සහෝදරියන් කොටසකට යම් උදව්වක් කරන්න පුළුවන් නම් ඒක වචනයෙන් කියලා නිම කරන්න බැරි සේවයක්. අපිට මේ වැඩේ හරියට කරන්න පුළුවන්නම් අද ඒ ළමයින්ට පොත් පත් දෙන දානපතීන් හෙට ඒ ළමයින්ට ලැප්ටොප් වුනත් දේවි. අපට කරන්න තියෙන්නේ ඛාන් මහතා කලා වගේ ලාබ ප්‍රයෝජන නොතකා මේ වැඩේ පටන් ගන්න පමණයි.

එහෙම හිතපු මම ඇත්තටම පාඩම් කිහිපයක්ම සිංහලට පරිවර්තනය කලා. මෙන්න මෙතනින් ඒවා බලන්න පුළුවන්.

මම නම් මේ වැඩේට අත ගැහුවේ විනෝදාංශයක් විදිහට. ඛාන් ඇකඩමියේ ලංකාවේ නියෝජිතයා විදිහට කටයුතු කරන්නේ තඹරු විජේසේකර. අද වෙනකොට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය අපේ ව්‍යාපෘතිය වෙත යොමු වෙලා තියනවා. නමුත් අපට ඇත්තටම ඕනේ කරන්නේ හොද පිරිස් බලයක්. මේ සද්කාර්යයට දායක වෙන්න කැමති අයට පුළුවන් මෙන්න මේ  ලින්කුව හරහා ගිහින් මේ සදහා දායක වෙන්න. හැමදාම අදුරට සාප නොකර මේ රටට යම් එළියක් දක්වන්න අපි දරණ සරල උත්සායක් මේ.

වැඩි විස්තර සදහා

Saturday, May 25, 2013

වයිකින් දේසේ වෙසක් මංගල්‍යය

වයිකින් දේසෙට පායපු වෙසක් පුන් සද


දෙන්නෙක් කසාද බැන්දට පස්සේ එළඹෙන අළුත් අවුරුද්ද , උපන්දින , වෙසක් පොසොන් උත්සව එක්තරා ආකාරයකට විශේෂයි කියලයි මම නම් හිතන්නේ. ඒ අතින් බැලුවාම මේ අවුරුද්දේ වෙසක් උත්සවය අපි දෙන්නාට බොහොම විශේෂයි. අනිත් අතට බැලුවහම ලංකාවෙන් සැතපුම් දහස් ගණනක් දුර, පන්සලක් කියලා නාමයක් නැති ලෝකයේ උතුරු කොනේ ඉදන් ගෙවෙන පළවෙනි වෙසක් මංගල්‍යය.

මුලින්ම නම් මේ පාර වෙසක් එකට කූඩුවක් හදන්න තුන් හිතකවත් අදහසක් තිබුනේ නෑ. මීට දවස් දෙකකට කලියෙන් විභාගයක් තිබුන නිසා ඇත්තම කියනවා නම් මට මේ ගැන හාංකවිස්සියක්වත් මතකෙට ආවේ නෑ. හැමදාම මොකක් හරි කූඩුවක් හදපු මට මේ පාර විතරක් කූඩුවක් නොහදා ඉන්න හිතුනේ නෑ. අනිත් අතට අපේම කියලා පුංචි ගේ කෑල්ලක ඉන්න කොට වෙසක් එකට කූඩුවක් වත් හදන්නේ නැත්නම් ඇති වැඩේ මොකද්ද කියලාත් හිතුනා.

බෞද්ධයෝ විදිහට අපි වෙසක් කූඩු වගේ ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වයක් දෙන්න ඕනෑ. නමුත් ඒ වගේම අපේ සංස්කෘතියත් එක්ක බැදුනු දේවල් අපි ඉදිරියට ගෙනි යන්නත් ඕනේ. අපි පුංචි කාලේ ගමේ ගිහින් බට පතුරුයි ඔට්ටපාලුයි අරගෙන ඇවිත් අම්මයි තාත්තයි එක්ක කූඩු හදපු හැටි මට තාම මතකයි. එදා ඒ කූඩු හදන කොට ලබපු සතුට වචන වලින් විස්තර කරන්න අමාරුයි. මම හිතන්නේ ඒ සතුට විදින්න අපේ අනාගත පරම්පරාවටත් අපිට වගේම අයිතියක් තියනවා. අපි වගේ නගරබදව ඉන්න පවුල්වල උදවියට එකට එකතු වෙන්න පුළුවන් දවසක් තමයි මේ අසිරිමත් වෙසක් උත්සවය. හැබැයි ඒ එකමුතුකම ඒ සරල සතුට කඩෙන් සල්ලි වලට කූඩු ගෙන්ල්ලා තමන්ගේ ගේ සරසලා නම් ලබා ගන්නට බෑ.

කොහොම හරි ඉතින් කූඩුවක් හදන්න හිතුවට ඒකට ඕනේ කරන දේවල් හොයා ගන්න එකනේ අමාරුම වැඩේ. ලංකවේ ඉන්න කොට නම් කාඩ්බෝඩ්, පේපර් පල්ප් වගේ ඒවත් ගත්තා කුඩු හදන්න. ඒත් මෙහෙ ඒවා කරන්න අමාරුයි. එක පැත්තකින් ගිනි ගණන්. අනිත් පැත්තෙන් වෙලාව මදි. (එක දවසයි තියෙන්නේ පෝයට). ඒ වෙලාවේ තමයි මතක් වුනේ මෙහෙ තියන grill skewers  එහෙමත් නැත්නම් BBQ කෝටු. ඒවයි රබර් පටි වලින් තමයි යන්තම් අටපට්ටම හදා ගත්තේ. හදිස්සියට හදපු හින්දා ටිකක් ඇදවුනා. ඒත් ඉතින් මුකුත් නැතුව ඉන්නවාට වඩා ඔය හොදයිනේ. වැඩේ එකම අවුලකට තිබ්බේ දැන් මෙහෙ කළුවර වෙන්නේ රෑ 11ට විතර. ඉතින් 11 වෙනකම් බලන් ඉන්න වුනා කූඩුවේ හැඩ බලන්න. ඒක දකින කොට ලංකාවේ පරණ මතකයන් හිතට ගලාගෙන ආවේ නිකම්මම වගේ. ඔන්න ඔහොමයි වයිකින් දේසයේ වෙසක් සැමරුවේ.
සාදා ගත් සැකිල්ල
අපේ පුංචි වෙසක් කූඩුව