Thursday, January 28, 2010

කව්ද මෝඩයෝ?

ම්ම්ම්.... වැඩ ගොඩක් මැද්දෙ ඉදගෙන වුනත් මට ‍මේ ලිපිය ලියන්න හිතුනේ මා දුටු blog කිහිපයක් හා facebook එකේ දුටු අදහස් කිහිපයක් නිසයි. ඇතමෙක් මේක බොහොම ප්‍රාථමික,ළාමක මෙන්ම ගල් යුගයේ මතයක් ලෙස දකින්නට පුළුවන්.

මම කතා කරන්න යන්නේ ජනාධිපතිවරණය හා රාජ සංකල්පය ගැනයි. කිහිප දෙනෙක් ජනතාව තුළ තිබෙන රාජ සංකල්පය බොහොම සමච්චලයට ලක් කර තිබුනා. නමුත් මම දකින ආකාරයට අපේ රටේ විතරක් නෙමෙයි දකුණු ආසියාව පුරාම ජනතාව ශ්‍රේෂ්ඨ රජෙක් යටතේ ජීවත් වීමට තවමත් ප්‍රිය කරනවා. එය මෝඩ කමක්වත් සිනහවට කාරණයක්වත් නොවෙයි. ඒ වසර දෙදහස් ගණනක් මුලුල්ලේ රජුන් සමග ජීවත් වීම අපේ ලේ වලට බද්ධ වී තිබීම නිසයි.

මේ තත්වය අපට දේශපාලන කරලිය පුරාම දකින්නට ලැබෙනවා. ජනතාව තමන් සහය දක්වන දේශපාලන පක්ෂය එහි නායකයා කුමන තීන්දු තීරණ ගත්තද ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ තමන්ගේ රාජ පක්ෂපාතීත්වය නොහොත් නායකත්වයට ඇති පක්ෂපාතීත්වය නිසාය. ඒ නිසා ෆොන්සේකා මහතාට මනාපය පල කළ අයගෙන් අතිමහත් බහුතරයක් එසේ කළේ මේ කාරණාව නිසාමය. එදා රනිල් වික්‍රමසිංහ මහතා තම පාක්ෂිකයන්ට දුන් නියෝගය අනුව ඔවුන් කටයුතු කර ඇත. තවමත් රටේ බහුතරයකගේ ස්වභාවයයි.

මා දකින්නේ මහින්දට ඡන්දය දුන් බොහෝ දෙනෙකු එතුමාට ඡන්දය දුන්නේ ඉමහත් ආදරයකින් යුක්තවය. ඡන්දය දැමීමට පෙර බුදුන් වැද පහන් පත්තු කර මහින්ද දිනේවා යැයි ප්‍රාර්ථනය කර ඡන්ද පොළට ගිය ඡන්ද දායකයෝ මම පුද්ගලිකවම හදුනමි. ඔබ බොහෝ දෙනෙකුට එය සිනහවකට කාරණයක් වේවි. නමුත් ඇත්ත තත්වය නම් රටේ ජනතාව හද පතුලෙන්ම ආදරය කරන නායකයකු අද පහළ වී ඇත.

මේ තත්වය අන්තර්ජාලයේ සිටින ඇතැම් පණ්ඩිතයන්ට ජනතාව මොඩයන් සේ පෙනීමට හේතු වී ඇත. තමන් ජනතාව වෙත ඉදිරිපත් කළ මතය පැහැදිළී ලෙස ප්‍රතික්ෂේප වූ විට ජනතාව මොඩයෝ යැයි චෝදනා කිරීම නරියා මිදි තිත්තයි කිව්වා වැනිය. අවංකවම තමන්ට වැරදුනේ කොතැනද ජනතාවගේ සිතුම් පැතුම් කෙසේදැයි තේරුම් ගැනීමට මොවුන්ට පුළුවන්නම් මීට වඩා අගනේය.