මීට වසර 5 කට 10 කට පෙර පැවතුන තත්වය ගැන කල්පනා කරන කොට ඇත්තටම අපිට සන්තෝස වෙන්න පුළුවන්, විශේෂයෙන්ම අපේ රටේ තීරණාත්මක යුගයක් අපේ ජීවිතයේ හොදම කාලයේදී පහළ වීම ගැන. ඒ කියන්නේ අපේ රටේ සෑම අංශයක්ම සංවර්ධනය කරන්න පුළුවන් හොදම අවස්ථාව මේකයි. මේ වගේ වෙලාවක තරුණයන් විදිහට අපිට කරන්න පුළුවන් දේ අප්‍රමාණයි.
හැබැයි මේ සංවර්ධනය කියන්නේ ලංකාව සිංගප්පූරුවක්වත් ඇමරිකාවක්වත් කරන එක නම් නෙමෙයි. ලංකාව ලංකාවම විය යුතුයි. අපේ සංවර්ධනය අපටම අවේණික විය යුතුයි. මෙතුවක් කල් අප අනෙකුත් රටවල් පරමාදර්ශයන් කරගෙන ඒ රටවල ආකෘතියක් මෙහි ගොඩ නගන්න උත්සාහ කළා. මම හිතන්නේ අපට වැරදුනෙත් ඒ නිසාම කියලයි.
මෙතාක් එවැනි දේවල් සිද්ධ වුනේ අපේ පාලකයන්ගේ මෙන්ම ජනතාව තුළද තිබුනු හීනමානයයි. අපට බෑ, අපට නෑ, සුද්දො තමයි වැඩ කාරයා, ඒ රටවල ඉන්න විශේෂඥයෝ තමයි ඕව දන්නේ.... මෙන්න මේ වගේ චින්තනයක් තමයි අපට තිබුනේ. නමුත් වාසනාවකට පහුගිය අවුරුද්දේ ලැබූ ඒ ශ්‍රේෂ්ඨ විජයග්‍රහණය තුළින් මේ චින්තනය දෙදරා ගියා. දශක ගණනක් පුරා හිතේ පැල පදියම් වූ චින්තනයක් එක රැයින් ඉවත් වන්නේ නෑ. මේ නිසාම මෙම දීන සිතුවිලි අපගේ යටි හිතේ තවමත් හොල්මන් කරනවා. මේ අවස්ථාවෙන් අපි නිසි ප්‍රයෝජන ගත්තේ නැත්නම් ඒ දීන සිතුවිලි නැවතත් අපව වෙලා ගනීවි.
මේ ලොකයේ දියුණු රටවල් වගේම ඕනෑම සමාජයක දියුණු ( පොහොසත්) මිනිසුන් සිටිනවා. මේ රටවල් වගේම මේ මිනිස්සුත් පටන් ගත්තේ බොහොම පොඩි තැනකින්. ඔවුන් බොහෝ දෙනෙකුට හීන තිබුනා. මිනිහෙක් හෝ සමාජයක් සිහින දැකිය යුතුයි. සිහින දකින්නේ නැතිව කිසි දිනක කිසිම අරමුණක් ජය ගත නොහැකියි. යමක් ජය ගැනීමට නම් ඒ සදහා සිහින දැකිය යුතුය. ආශා කල යුතුය. මෙයයි මානව ස්වභාවය.
අප ලොකු ලොකු සිහින දකින්නේ නම් අපගේ අරමුණුද විශාලය. නමුත් ලගා කරගැනීම අපහසුය එසේම ලගා කරගත් විට ප්‍රතිලාභද විශාලය. මා දකින ආකාරයට ජාතියක් විදිහට අපි ලොකු සිහින දැකීමට බයක් දක්වයි. ඒ පෙර සදහන් කල දීන සිතුවිලි නිසාමය.
පහුගිය දිනවල කතාවුනු එක් මාතෘකාවක් තමයි ලංකාවෙනුත් සන්නිවේදන චන්ද්‍රිකාවක් යැවීම. කී දෙනෙක් මේකට හිනා වුනාද? මේ සිහිනය ප්‍රතික්ෂේප කලාද? ඇත්තම කියනවා නම් එවැනි දෙයක් කිරීමට අපට පුළුවන් කියා හිතන්න හුග දෙනෙක් අකමැතියි. බයයි. මේ අපට වැරදුනු තවත් තැනක්.
ලොකු හීන දකින්න බය වෙන්න එපා. මොකද මේ රටේ කොල්ලන්ට කෙල්ලන්ට කරන්න බැරි දෙයක් නෑ. අතීතය දිහා හැරිලා බැලුවොතින් ඒක පැහැදිලියි.
හැබැයි තව දෙයක් කියන්න තියනවා. ඒ තමයි හීන බල බල ඉදල නම් මදි. ඒ හීනය සැබෑ කරගන්න අපේ උපරිමයෙන්ම මහන්සි වෙන්න ඕනේ. සිහින දකින්නේ නැතිව වැඩ කරන්න බෑ. වැඩ කරන්නේ නැතුව සිහින වලින් ඇති වැඩක් නෑ. අපිට මේ දෙකම වුවමනායි අපේ රට හෙට සුරපුරයක් කරන්න නම්.