Showing posts with label විශ්ව විද්‍යාල. Show all posts
Showing posts with label විශ්ව විද්‍යාල. Show all posts

Thursday, August 11, 2011

සිංහල ‍‍බෞද්ධ සංස්කෘතිය මත පදනම්ව විද්‍යාවක් බිහි කළ හැකිද?


මුලින්ම කියන්න ඕනේ මම කවදාකවත් මහාචාර්ය නලීන් ද සිල්වා මැතිතුමාගේ අනුගාමිකයෙකුවත් එතුමාව දැඩි ලෙස විවේචනය කරන්නෙකුවත් නොසිටි බව. උසස් පෙළ සමත් වීමෙන් පසු එතුමාගේ විද්‍යා කතන්දර කෘතිය මිලට ගත්තත් අද වනතුරු හරියට කියවලා නොතිබුනත් ( දැන්නම් කොහොම හරි කියවන්න ඕනේ) එතුමාගේ මතය එතුමාගේ වචන වලින්ම අහගන්න ආසාවක් හිතේ අස්සක මුල්ලක සැගවිලා තිබුනා. ඇත්තටම අපි යමක් පිළිගන්න හරි විවේචනය කරන්න හරි කලින් ඒ සම්බන්ධයෙන් හොද අධ්‍යයනයක් කරන්නට අවශ්‍යයි. කෙසේ වුවත් එතුමගේ දේශන සොයාගෙන ගොස් සහභාගී වීමට කරම් උනන්දුවක් මා තුළ නොමැති වූ බවද පිළිගන්නටම ඕනේ කාරනයක්.

ඉතින් මට මේ සදහා හොද අවස්ථාවක් ඊයේ දිනයේදී උදාවුනා. ඒ එතුමාගේ දේශනයක් අපගේ විශ්ව විද්‍යාලයේදී පැවැත්වූ බැවින්. මාතෘකාව වුනේ "සිංහල ‍‍බෞද්ධ සංස්කෘතිය මත පදනම්ව විද්‍යාවක් බිහි කළ හැකිද?" යන්නයි. පැහැදිලිවම කියනවා නම් බලාපොරොත්තු වූවාට වඩා හිතන්නට යමක් ඉතිරි කළ දේශනයක් ලෙස එය හදුන්වන්ට පුළුවන්. නිතර බ්ලොග් නොලියන මම මේ සම්බන්ධයෙන් සටහනක් තබන්නට කල්පනා කලෙත් ඒ නිසයි.


හැබැයි මේ කතාව අහලා මම එතුමාගේ අනුගාමිකයෙකු වුනේ නෑ. නමුත් එතුමා කියන කතාවේ ඇත්තක් පදනමක් තියනවා කියන එක නම් තේරුම් ගත්තා. ඒක මගේ ජීවිතයට බොහොම වැදගත් වන බව දැනුනු නිසයි ඒක බෙදා හදා ගන්නට මෙහි අවේ.

එක එක පාට කණ්නාඩි දාගෙන බලන්නේ නැතුය පුළුවන් තරම් මධ්‍යස්ථව හා උපේක්ෂාවෙන් මේකට ඇහුම්කන් දීලා බලන්න

Sunday, July 18, 2010

‍ඩෙංගු මාරයා - ගස්ලබු වීරයා

මීට පෙර ‍ඩෙංගු වලට අපූරු බෙහෙතක් කියා ලිව්ව ලිපියට අදාළ වෛද්‍ය හෙට්ටිගේ මහතා ගැන අද දෙරණ වෙබ් අඩවියේ සදහන් වුනා.මේ තියෙන්නේ ඒ උපුටා ගැනීමයි.

ඩෙංගු රෝගීන් සඳහා පැපොල් (ගස්ලබු) පත්‍රවල යුෂ සුදුසු බව වෛද්‍ය පරීක්ෂණවලින් සනාථ වී ඇත. ළමුන් 10 - 15ත් අතර පිරිසක්ද ඇතුළුව ඩෙංගු වැළදුණු රෝගීන් 70 දෙනෙකු යොදා ගනිමින් සිදුකළ පරීක්ෂණයක් සිදුකර ඇති අතර ඔවුන්ගෙන් සෑම අයෙකුටම පැපොල් කොළ යුෂ මිලි ලීටර් 10ක් පානය කිරීමට දී තිබේ. 

සාමාන්‍යයෙන් සිදුකරන වෛද්‍ය පරීක්ෂණවලින් ඕනෑම රෝගයක් සුවවීමේ ප්‍රතිශතය වන්නේ 50%ක් පමණය. නමුත් පැපොල් යුෂ යොදා ගනිමින් ඩෙංගු රෝගීන් වෙනුවෙන් සිදුකළ මෙම පරීක්ෂණයේ ප්‍රතිඵලය 100%ක් බවට ඔප්පුවී ඇතැයි වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතා ප්‍රකාශ කර ඇත. ඵලදාව ඇති, හොඳින් වැඩුණු රතු වර්ගයේ ගස්ලබු (Red lady) ගසක පත්‍රය පමණක් ගෙන පිරිසිදු ජලයෙන් හොඳින් සෝදා එම පත්‍රය වංගෙඩියක දමා කොටාගත යුතුය. වතුර හෝ ලුණු වතු නොදමා ගස්ලබු කොළය පමණක් මෙසේ හොඳින් කොටා ගෙන එයින් මිරිකා ගත් සාරය බීමට ගත යුතුය. සීනි හෝ වතුර හෝ කිසිවක් මිශ්‍ර නොකර ගස්ලබු කොළ සාරය පමණක් පානය කළ යුතු බව වෛද්‍ය හෙට්ටිගේ මහතා සඳහන් කරයි. 

වැඩිහිටියන් මි.ලී 10ක ප්‍රමාණයක්ද, වයස අවුරුදු 05 - 12ත් අතර ළමුන් මි.ලී 05ක් ප්‍රමාණයක්ද දිනකට දෙවරක් පානය කළ යුතුය. ඩෙංගු වැළඳී අසාධ්‍ය මට්ටමේදී මෙය පානය කිරීමේ ප්‍රතිඵලයක් නොලැබේ. ඩෙංගු යැයි හඳුනාගත් වහාම මෙය පානය කළ යුතු අතර ඩෙංගු රෝගය සඳහා දෙනු ලබන බෙහෙත් සමඟ මෙය බීමට ගත හැකිය. 

මෙසේ පැපොල් කොළ යුෂ බීමට ගැනීමෙන් ඩෙංගු රෝගීන්ගේ සුදු රුධිරාණු මෙන්ම රුධිර පට්ටිකා වර්ධන කෙරේ. එසේම ‍ රුධිරය කැටි ගැසීම වර්ධනය කරන අතර ඩෙංගු වැළඳීමෙන් අක්මාවට වන හානිය යම් තරමක් දුරට සමනය වේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ රුධිර පට්ටිකා 150,000 - 350,000 අතර පවතී. ඩෙංගු රෝගය වැළඳීමෙන් එය 150,000ක් වැනි අඩු තත්වයක් පැවතියහොත් පැපොල් කොළ පානය කිරීමෙන් එය වර්ධනය කරගත හැකිය.

මගේ මව මෙන්ම සහෝදරයෙක්ද මෙම ප්‍රතිකාරය නිසා නිට්ටාවටම සුව වූ අතර මෙය රට පුරා ප්‍රචාරය කිරීම සැමගේ වගකීම වේ.
Dr.Sanath Hettige (MBBS, DFM, MD, MCGP)
The Medical Clinic                                                                            Tel – 0112851517
92,Wattegedara Rd,                                                                        Email – hettiges@sltnet.lk
Maharagama
                

Friday, May 28, 2010

EXMO ට පෙරවදනක්

එළඹෙන ජුනි මස 11,12 හා 13 යන දින වල මොරටුව විශ්වවිද්‍යාලයේදී පැවැත්වෙන ExMO 2010 ප්‍රදර්ශනය ගැන ඔබ දැනටමත් දන්නවැ ඇති. ඊට සමගාමීව වෙනමම බ්ලොග් අඩවියක් ආර්ම්භ කරන්නට මම තීරණය කළා. ඒ තමයි මැවිසුරු.
මෙන්න එහි පළ කල අළුත්ම ලිපිය


අපි දන්න කියන ඉතිහාසයට අනුව ( රාවණා රජ්ජුරුවන්ගේ, දඩුමොණරයේ කතා ඇත්තක් නම් මම මේ ලියන වාක්‍ය බොරු වෙනවා) ඉතිහාසයේ අන්කවරදාකටවත් වඩා භෞතික අතින් ඉතා දියුණු මට්ටමකට මිනිසා අද පැමිණ සිටිනවා. හෝමෝ ඉරෙක්ටස් ගේ සිට නූතන මානවයා දක්වා පැමිණි මේ ගමනේ සාර්ථක බවට ඉතාම වැදගත් සාධකයක් විදිහට ‘මිනිසාගේ කුතුහලය’ හදුන්වන්නට පුළුවන්. මම දකින විදිහට අපගේ ලෝකයේ හෙට දවස බිහිවන්නේ අද දවසේ අප තුළ ඇති කුතුහලයන් සන්සිදුවා ගැනීමට අප ගන්න විවිධ ක්‍රියා මාර්ග තුළින්.
ඉතින් මීට අවුරුදු දහස් ගනනකට පෙර අපේ මුතුන් මිත්තන්ට අවට ලෝකය ගැන පුදුමාකාර කුතුහලයක් පවතින්ට ඇති. ඒ නිසාම මේ ලෝකය පුරා විවිධාකාරයේ අරුම පුදුම ශක්තීන් සැගවී ඇති බවට ඔවුන් විශ්වාස කරන්නට ඇති. ඒ ශක්තීන් තුළින් කවදා හෝ අමරණිය වීමට, ඕනෑම රෝගයක් සුවපත් කළ හැකි ‍ඖෂධ සාදාගැනීමට පමණක් නොව ඕනෑම දෙයක් රත්තරන් බවට පත්කර ගන්නට පුළුවන් වේවි යැයි ඔවුන් සිතීම පුදුමයක් නෙමෙයි. අපි කවුරුත් දන්නවනේ මොකක් හෝ කුතුහලයක් ඇති වුනාම ඒ ගැන හොයල බලනකම් හිතට නිවනක් නෑ කියලා. ඉතින් අන්න ඒ එදා මිනිසුන් ඔවුන් මේ විශ්වාස කළ සැගවුනු ශක්තීන් ගැන සොයන්නට පටන් ගත්තා. ඒ අයව හදුන්වන්නේ ඇල්කෙමිවරු ‘alchemist’ කියලයි. නමුත් අද වෙනකොට එදා දුටු සිහින ස‍දාකල් මානව වර්ගයාගේ සිහිනයක් ලෙසම පවතින බව පැහැදිළිවී අවසන්. නමුත් ඒ අරමුණට යන්නට ගත් උත්සාහය නම් අපතේ ගියේ නෑ. අද දවසේ ලෝකයේ එක් පදනමක් වන විවිධ රසායන ද්‍රව්‍ය බිහිවූයේත් සෑම නව සොයාගැනීමකට පදනම වූයේත් මේ මහා ගවේෂණය හා එහි අතුරු ප්‍රතිඵලයි.
අද වෙනකොට ඇල්කෙමිවරු මේ ලෝකය මත නෑ. නමුත් ඔවුන්ට නෑකම් කියන ඔවුන්ගේ පරපුරේ නූතන පුරුක් ලොව පුරාම පැතිරී සිටිනවා. විද්‍යාඥයන් විවිධ පර්යේෂකයන් ඒ අතර විශේෂයි. ඒ අතර තවත් පිරිසක් සිටිනවා මේ ලෝකයට සුවිශේෂී කාර්යයක් කරපු මෙන්ම කරන. ඒ තමයි ‘chemical and process engineers’ හෙවත් රසායන හා ක්‍රියාවලි ඉංජිනේරුවන්.
මම හිතන්නේ ලංකාවේ තවමත් බොහෝ දෙනෙක් මේ වෘත්තිය පිළිබදව දන්නේ නෑ. එහෙමත් නැත්නම් පැහැදිළි අදහසක් නෑ. ඉංජිනේරු විෂය බොහොම පුළුල් විෂයක්. අතීතයේ නම් සිවිල්, කාර්මික, විදුලි ආදී සීමිත ‍ක්ෂේත්‍රන් වලින් සමන්විත වුවත් අද වන විට ඉංජිනේරු විෂය සීමා මායිම් නැති විෂයක් බවට පත්වෙලා. ඉලෙක්ට්‍රොන්ක්, පරිඝනක, ද්‍රව්‍ය (materials), ආදී පමණක් නොව food, polymer, nano technology, nuclear, environmental, biochemical ආදී මෙකී නොකී ක්ෂේත්‍රන් ගණනාවක ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති ඉංජිනේරුවන් සිය දහස් ගණනක් අද ලෝකයේ සිටිනවා. නමුත් ලංකාවේ සමාජය තුළ මේ සම්බන්ධයෙන් ඇති දැනුම දුර්වල මට්ටමකය් පවතින්නේ. බොහෝ දෙනෙක් සිතන්නේ ඉංජිනේරුවන් සිටින්නේ ගොඩනැගිලි හෝ යන්ත්‍ර සූත්‍ර ගොඩ නැගීමට කියාය. නමුත් අද එතනින් ඔබ්බට ගිය වගකීමක් ඉංජිනේරුවන් හට පැවරී ඇත. රසායන හා ක්‍රියාවලි ඉංජිනේරුවන් යනු එවැනි වගකීමක් ඇති ඉංජිනේරුවන් පිරිසකි.
කාර්මික විප්ලවයට පෙර ලෝකයේ සම්පත් හෝ බලශක්තිය සීමා සහිත යැයි හෝ නිශ්පාදන වියදම අවම කරගත යුතු යැයි හැගීමක් මිනිසුන් තුළ තිබුනේ නෑ. ඒ නිසා විශේෂයෙන්ම බටහිර සමාජය තුළ කාර්යක්ෂම නිශ්පාදනයකට එනම් භාවිතා කරන අමුද්‍රව්‍ය හා බලශක්තියට අනුරූපීව උපරිම නිශ්පාදනයක් හෝ අවම අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හා අවම බලශක්ති ප්‍රමාණයක් වැය කර නිශ්පාදනය කිරීමට අවශ්‍යතාවයක් ඔවුන් සතුව තිබුනේ නෑ.
නමුත් කාර්මික විප්ලවයත් සමග මහා පරිමාණ නිශ්පාදනයත් වෙළද පොළ තරග කාරී බවත් වර්ධනය වූවා. ඒ සමගම එවකට නිශ්පාදකයන්ට පෙර කී කාර්යක්ෂම නිශ්පාදන සංකල්පය අත්‍යවශය වූවත් එවකට පැවති ඉංජිනේරුමය දැනීම එයට ප්‍රමාණවත් වූයේ නෑ. මේ සදහා එවකට පැවති ඉංජිනේරු දැනුමට රසායන විද්‍යාවේ දැනුම පමණත් නොව ගණිත‍ය, ආර්ථික විද්‍යාව, ජීව විද්‍යායවද අවැසි වූවා. මෙලෙස සියළු විද්‍යාවන්ගේ අපූරු සංකලනයකින් එදා රසායන හා ක්‍රියාවලි පිළිබද ඉංජිනේරු විද්‍යාව එළිය දුටුවා. මහා පරිමාණයේ කර්මාන්ත ඇති යුරෝපයේ හා ඇමරිකාවේ අදටත් ඉතා විශාල ඉල්ලුමක් ඇති වෘත්තයක් වන්නේ රසායන හා ක්‍රියාවලි ඉංජිනේරුවන්ය.
නමුත් රසායන හා ක්‍රියාවලි ඉංජිනේරුවන්ගේ හැකියාවන් හා වගකීම් පැහැදිළි ලෙස විස්තර කිරීමට මෙම ලිපිය ප්‍රමාණවත් නැති බව මගේ විශ්වාසයයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් ලිපි පෙළක් ලිවීමටද බලාපොරොත්තු වනවා. ඒ අතරම තවත් දෙයක් මතක් කරන්නට ඕනේ. ඒ තමයි රසායන හා ක්‍රියාවලි ඉංජිනේරුවන්ගේ දස්කම් විස්කම් සියැසින් දැකබලා ගැනීමට අපූරු අවස්ථාවක් එළඹෙන ජුනි මස 11,12 හා 13 යන දින වල මොරටුව විශ්වවිද්‍යාලයේදී පැවැත්වෙන ExMO 2010 ප්‍රදර්ශනයේදී ඔබට හිමි වනවා.

Tuesday, September 1, 2009

අපේ රටේ උසස් අධ්‍යාපනය

අපේ රටේ උසස් අධ්‍යාපනය ගැන විශේෂයෙන්ම විශ්ව විද්‍යාල ගැන සටහනක් ලියන්න කාලෙක පටන් අදහසක් තිබුනා. මම දන්න තරමින් ලෝකයේ උගත්ම ජනතාවක් ජීවත් වෙන රටක් තමයි අපේ රට. ඉතා විශිෂ්ඨ බුද්ධිමතුන් ලෝකයට බිහිකරන විශ්ව විද්‍යාල පද්ධතියක් අප සතුයි. නමුත් අපේ රටේ විශ්ව විද්‍යාලවලින් දැනුම ලබාගන්න විදේශිය සිසුන් මෙරටට පැමිණෙන්නේ නැති තරම්ය. නමුත් රටක් වශයෙන් අධ්‍යාපනය අතින් එතරම් දියුණු නැති බංග්ලාදේශයට පවා විදෙස් සිසුන් අධ්‍යාපනය ලැබීමට යන බව අපි කව්රුත් දන්න දෙයක්.

කෙනෙක් අහන්න පුළුවන් අපේ රටේ එවුන්ට ඉගෙන ගන්න ඉඩ නැතුව පිටරට එවුන්ට කොහොම උගන්වන්නද කියලා. ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. ඒ වගේම තමයි මෙයින් ලැබෙන ආදායමෙන් අපේ රටේ කොල්ලො කෙල්ලන්ට උගන්වන්නත් පුළුවන්.

තව දෙයක් තමයි පුද්ගලික විශ්ව විද්‍යාල. අපි කාගෙ කාගෙත් යාළුවෝ නෑදෑයෝ පිටරට වල ඉගෙන ගන්නවා. ඒ වුනාට ඒ අය හැමෝම මහ සල්ලිකාරයෝ නෙමෙයිනෙ. සමහරු ඉඩකඩම් උකස් කරගෙන තමන්ගෙ දරුන්ට උගන්වන්නේ. ඉතින් විශ්ව විද්‍යාල ඒ අයට නම් මහත් සහනයක්. ඒ වගේම අනිත් අතට පුද්ගලික විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය පිළිබද ගැටලු රැසක් තියෙනවා.

ඇත්තටම බොහෝ දෙනෙකුට මේ ගැන විවිධ අදහස් තියෙනවා. ඒ හැම එකකම ඇත්තකුත් තියෙනවා. ඒ නිසා මේ ගැන ටිකක් කතා කරමු. මොකද මේ වගේ දේකට විවිධ අදහස් ඕනෙ වෙනවා. මොනව කලත් අවසානයේ විය යුත්තේ අපේ රටේ අධ්‍යාපන මට්ටම ඉහල නැංවීමයි. ඒ නිසා ඒ අරමුණින් සුභවාදීව මේ ගැන කතා කරමු.