Sunday, June 2, 2013

සිංහලෙන් පාඩම් කියලා දෙන්න ඔබත් එනවාද?

http://www.openculture.com/2012/12/introducing_ka_lite_an_offline_version_of_the_khan_academy_that_runs_on_almost_anything.html


ඛාන් ඇකඩමිය එහෙමත් නැත්නම් ඛාන් ශාස්ත්‍රාලය ලංකාවේ අපට එතරම් හුරුපුරුදු නමක් නොවුනට අද වෙනකොට ලෝකයේ බොහොමත්ම ජනප්‍රිය නොමිලේ අධ්‍යාපනය සපයන වෙබ් අඩවියක්. පහුගිය දවස් වල මේ පිළිබදව බොහොම වැදගත් ලිපියක් පළවුනා අරුණි ශපිරෝගේ බ්ලොග් අඩවියේ.



බොහොම සරලව ආරම්භ කරපු ඛාන් ඇකඩමිය අද ලෝකයේ බොහෝ රටවල දරුවන් තමන්ගේ අධ්‍යාපන කටයුතු පහසු කරගන්න භාවිතා කරන්නේ එහි තියන සරල එහෙත් ප්‍රයෝජනවත් බව නිසයි. මේ ප්‍රයෝජනවත් බව නිසාම ඛාන් ඇකඩමියේ ඇති පාඩම් මාලාවන් විවිධ භාෂාවන් වෙත පරිවර්තනය කෙරෙමින් පවතිනවා. පරිවර්තනය කියන්නේ හඩ කැවීම හා උපසිරස යෙදීමයි.

තවමත් ලංකාවේ අන්තර්ජාලය භාවිතා වන්නේ චිත්‍රපට නැරඹීමට, ෆේස්බුක් යෑමට හා ප්‍රවෘත්ති බැලීමට වැනි කාරණාවලට පමණක් නිසාදෝ ඛාන් ඇකඩමියේ පාඩම් සිංහලට පරිවර්තනය කරන්නට වැඩි අවදානයක් යොමු වී නැහැ. අපට පුළුවන්නම් මෙම පාඩම් පරිවර්තනය කරන්න එහෙමත් නැත්නම් අපටම කියා පාඩම් මාලාවක් නිර්මාණය කරන්න අපේම රටේ නංගිලා මල්ලිලාට සෑහෙන්න ප්‍රයෝජනයක් වේවි. අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර ගත්විට අපේ රටේ සම්පත් බෙදීයාමේ ලොකු ගැටලුවක් තියනවා. දුෂ්කර ප්‍රදේශ වල සිසුන්ට කොතරම් භෞතික සම්පත් ලබා දුන්නත් ඒ ප්‍රදේශවල ඇත් ගුරුහිගයට විසදුම් දෙනතාක් කල් ඒ ප්‍රදේශවල සිසුන්ට කවදාවත් නිදහස් අධ්‍යාපනයේ නියම ඵල ප්‍රයෝජන අත්විදින්ට ලැබෙන්නේ නැහැ. අද වෙනකොට අන්තර්ජාලය හෙමින් හෙමින් සමාජය පුරා පැතිරී යන යුගයක ඒ හරහා අපේම රටේ අපේම සහෝදර සහෝදරියන් කොටසකට යම් උදව්වක් කරන්න පුළුවන් නම් ඒක වචනයෙන් කියලා නිම කරන්න බැරි සේවයක්. අපිට මේ වැඩේ හරියට කරන්න පුළුවන්නම් අද ඒ ළමයින්ට පොත් පත් දෙන දානපතීන් හෙට ඒ ළමයින්ට ලැප්ටොප් වුනත් දේවි. අපට කරන්න තියෙන්නේ ඛාන් මහතා කලා වගේ ලාබ ප්‍රයෝජන නොතකා මේ වැඩේ පටන් ගන්න පමණයි.

එහෙම හිතපු මම ඇත්තටම පාඩම් කිහිපයක්ම සිංහලට පරිවර්තනය කලා. මෙන්න මෙතනින් ඒවා බලන්න පුළුවන්.

මම නම් මේ වැඩේට අත ගැහුවේ විනෝදාංශයක් විදිහට. ඛාන් ඇකඩමියේ ලංකාවේ නියෝජිතයා විදිහට කටයුතු කරන්නේ තඹරු විජේසේකර. අද වෙනකොට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය අපේ ව්‍යාපෘතිය වෙත යොමු වෙලා තියනවා. නමුත් අපට ඇත්තටම ඕනේ කරන්නේ හොද පිරිස් බලයක්. මේ සද්කාර්යයට දායක වෙන්න කැමති අයට පුළුවන් මෙන්න මේ  ලින්කුව හරහා ගිහින් මේ සදහා දායක වෙන්න. හැමදාම අදුරට සාප නොකර මේ රටට යම් එළියක් දක්වන්න අපි දරණ සරල උත්සායක් මේ.

වැඩි විස්තර සදහා

Saturday, May 25, 2013

වයිකින් දේසේ වෙසක් මංගල්‍යය

වයිකින් දේසෙට පායපු වෙසක් පුන් සද


දෙන්නෙක් කසාද බැන්දට පස්සේ එළඹෙන අළුත් අවුරුද්ද , උපන්දින , වෙසක් පොසොන් උත්සව එක්තරා ආකාරයකට විශේෂයි කියලයි මම නම් හිතන්නේ. ඒ අතින් බැලුවාම මේ අවුරුද්දේ වෙසක් උත්සවය අපි දෙන්නාට බොහොම විශේෂයි. අනිත් අතට බැලුවහම ලංකාවෙන් සැතපුම් දහස් ගණනක් දුර, පන්සලක් කියලා නාමයක් නැති ලෝකයේ උතුරු කොනේ ඉදන් ගෙවෙන පළවෙනි වෙසක් මංගල්‍යය.

මුලින්ම නම් මේ පාර වෙසක් එකට කූඩුවක් හදන්න තුන් හිතකවත් අදහසක් තිබුනේ නෑ. මීට දවස් දෙකකට කලියෙන් විභාගයක් තිබුන නිසා ඇත්තම කියනවා නම් මට මේ ගැන හාංකවිස්සියක්වත් මතකෙට ආවේ නෑ. හැමදාම මොකක් හරි කූඩුවක් හදපු මට මේ පාර විතරක් කූඩුවක් නොහදා ඉන්න හිතුනේ නෑ. අනිත් අතට අපේම කියලා පුංචි ගේ කෑල්ලක ඉන්න කොට වෙසක් එකට කූඩුවක් වත් හදන්නේ නැත්නම් ඇති වැඩේ මොකද්ද කියලාත් හිතුනා.

බෞද්ධයෝ විදිහට අපි වෙසක් කූඩු වගේ ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වයක් දෙන්න ඕනෑ. නමුත් ඒ වගේම අපේ සංස්කෘතියත් එක්ක බැදුනු දේවල් අපි ඉදිරියට ගෙනි යන්නත් ඕනේ. අපි පුංචි කාලේ ගමේ ගිහින් බට පතුරුයි ඔට්ටපාලුයි අරගෙන ඇවිත් අම්මයි තාත්තයි එක්ක කූඩු හදපු හැටි මට තාම මතකයි. එදා ඒ කූඩු හදන කොට ලබපු සතුට වචන වලින් විස්තර කරන්න අමාරුයි. මම හිතන්නේ ඒ සතුට විදින්න අපේ අනාගත පරම්පරාවටත් අපිට වගේම අයිතියක් තියනවා. අපි වගේ නගරබදව ඉන්න පවුල්වල උදවියට එකට එකතු වෙන්න පුළුවන් දවසක් තමයි මේ අසිරිමත් වෙසක් උත්සවය. හැබැයි ඒ එකමුතුකම ඒ සරල සතුට කඩෙන් සල්ලි වලට කූඩු ගෙන්ල්ලා තමන්ගේ ගේ සරසලා නම් ලබා ගන්නට බෑ.

කොහොම හරි ඉතින් කූඩුවක් හදන්න හිතුවට ඒකට ඕනේ කරන දේවල් හොයා ගන්න එකනේ අමාරුම වැඩේ. ලංකවේ ඉන්න කොට නම් කාඩ්බෝඩ්, පේපර් පල්ප් වගේ ඒවත් ගත්තා කුඩු හදන්න. ඒත් මෙහෙ ඒවා කරන්න අමාරුයි. එක පැත්තකින් ගිනි ගණන්. අනිත් පැත්තෙන් වෙලාව මදි. (එක දවසයි තියෙන්නේ පෝයට). ඒ වෙලාවේ තමයි මතක් වුනේ මෙහෙ තියන grill skewers  එහෙමත් නැත්නම් BBQ කෝටු. ඒවයි රබර් පටි වලින් තමයි යන්තම් අටපට්ටම හදා ගත්තේ. හදිස්සියට හදපු හින්දා ටිකක් ඇදවුනා. ඒත් ඉතින් මුකුත් නැතුව ඉන්නවාට වඩා ඔය හොදයිනේ. වැඩේ එකම අවුලකට තිබ්බේ දැන් මෙහෙ කළුවර වෙන්නේ රෑ 11ට විතර. ඉතින් 11 වෙනකම් බලන් ඉන්න වුනා කූඩුවේ හැඩ බලන්න. ඒක දකින කොට ලංකාවේ පරණ මතකයන් හිතට ගලාගෙන ආවේ නිකම්මම වගේ. ඔන්න ඔහොමයි වයිකින් දේසයේ වෙසක් සැමරුවේ.
සාදා ගත් සැකිල්ල
අපේ පුංචි වෙසක් කූඩුව

Wednesday, December 26, 2012

විභාගයේදී ඔබේ ලකුණු රැක ගන්න


කොච්චර දැනගෙන හිටියත් විභාගයේදී හිතපු තරම් ලකුණු හම්බ වෙන්නේ නැද්ද? ඒ ඔබ ඔබට හිමි විය යුතු ලකුණු රැක ගන්නේ නැති නිසා. ඔබ දන්නා බව විභාග පරීක්ෂකවරයාට පෙන්වන්නේ නැති නිසා. විභාගයක් ගැන ඔබ තේරුම් ගතයුතු මූලික කරුණ ඇතුලත් කරලා කලින් මා ලිවු ලිපි දෙක සම්බන්ධ කරලා පොඩි පොතක් පිළියෙල කලා. ඒක
මේ පොත විභාග වලට මුහුණ දෙන නංගිලා මල්ලිලා එක්ක විතරක් නෙමෙයි යාළුවෝ එක්කත් බෙදා හදා ගන්න

Thursday, August 2, 2012

උසස් පෙළට දැන් ලෑස්තිද? .... (2)


කලින් ලිපියේ අපි සාකච්චා කලේ විභාගයකට මුහුණ දෙනකොට අපි විසින් මූලිකවම දැන ගන්න ඕනේ කරුණු කාරණා කිහිපයක්. අද මේ ලිපියෙන් ඉන් තරමක් ඔබ්බට ගිය කරුණු කිහිපයක් තේරුම් බේරුම් කර ගමු.

කලින් ලිපියේදී අප කියා සිටියා උත්තර සපයන එකත් එක්තරා සන්නිවේදන ක්‍රියාවලියක් කියා. සන්නිවේදනයේදී අප උත්සාහ කරන්නේ අපේ හිතේ ඇති යම් අදහසක් හෝ හැගීමක් තව කෙනෙකුගේ හිතට ඇතුළු කිරීම. එහෙමත් නැත්නම් ඔහුට එය තේරුමටයි. නමුත් අපිට කවදාවත් අපේ හිතේ තියන දේ ඒ ආකාරයෙන්ම වෙන කෙනෙකුට තේරුම් කර දෙන්න නම් බෑ. අපි කියන්නේ එකක් නමුත් අනිත් අය තේරුම් ගන්නේ වෙන දෙයක් - මේක අපේ ජීවිතයේදී සාමාන්‍ය දෙයක්. ඒ සාමාන්‍ය දේ විභාගයටත් පොදුයි කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එදිනෙදා ජීවිතයේදී නම් අපි කියන දෙයක් අනිත් අයට තේරුනේ නැති වුනාම ඒ දේ තේරුම්යනකම් නැවත නැවත අපිට කියා දෙන්න පුළුවන්. නමුත් විභාගයකදී අපට ලැබෙන්නේ එකම එක අවස්ථාවක් පමණයි. අපට විභාග පරීක්ෂකවරයා වෙතට ගොස් අප කියන්න උත්සාහ කලේ මෙන්න මෙයයි කියලා නැවත පැහැදිළි කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. අන්න ඒකයි විභාගයක් ලියන එකත් කලාවක් කියන්නේ. තමන් කොච්චර දැනුමෙන් සන්නද්ධ වුවත් තමන් දන්නා බව ලොකයාට පෙන්වන්ට බැරි නම් විභාග කියන දේ සමත් වන්නට තරමක් අසීරුයි.

සන්නිවේදනයේදී වචනයට වඩා  රූපය ප්‍රභලයි. අපි කථාවට කියන දෙයක් තමයි වචන දාහකින් කියන්න බැරි දේ එක රූපයකින් කියන්න පුළුවන් කියන එක. ඡේද ගණනාවකින් අප කියන්නට හදන දේ එක රූප සටහනකින් අපට විස්තර කරන්නට පුළුවන්. ඒ වගේම බලන කෙනෙකුට එය පහසුවෙන් තේරුම් ගන්නත් පුළුවන්. බලන්න ප්‍රශ්න පත්‍රයක රූප මගින් විස්තර කර තිබෙන ප්‍රශ්න අපි බොහොම ලේසියෙන් හා ඉක්මනින් තේරුම් ගන්නවා නමුත් අනිත් අතට වචන මගින් විස්තර ඇති ප්‍රශ්න තේරුම් ගන්නට දෙතුන් විටක්ම කියවන්නට වෙනවා.

ඒ නිසා හැකි සෑම විටම රූප සටහන් මගින් ඔබේ පිළිතුර විස්තර කරන්න. මේවා දළ රූප සටහන් වීම ප්‍රමාණවත්. අඩිරූලක් අරගෙන ගාණට මිම්මට අදින්න අවශ්‍ය නෑ.අවශ්‍ය වන්නේ පැහැදිළි රූපයක් විතරයි.
විභාගයකදී භාවිතා කරන්න පුළුවන් තවත් වැදගත් අංගයක් වන්නේ වගු භාවිතයයි. බොහෝ විභාග වලදී සන්සන්දනය කිරීමේ ප්‍රශ්න ඉදිරිපත් වනවා. වාසි අවාසි විස්තර කිරීම එහෙමත් යම් කරුණු දෙකක් හෝ වැඩි ගණනක් සංසන්දනය කිරීම වගේ දේවල් බොහොම සුලබයි. එවැනි අවස්ථාවකදී ඡේද මගින් විස්තර කිරීමට වඩා වගු මගින් විස්තර කිරීම බලන්නාට මෙන්ම ලියන්නාටද පහසුවක් ඇති කරවනවා. කොහොමද ලියන්නාට මින් පහසුවක් ඇති කරවන්නේ? ඡේද ගණන් ලියනකොට වගේ නෙමෙයි වගුවක් සකසන විට හිතේ සංසන්දනාත්මක අදහස්, කරුණු ඇති කිරීම පහසු කරවනවා. ඒ නිසා වඩා සාර්ථක උත්තරයක් අවසානයේදී පිළියෙල කරන්නට පුළුවන්. ඒ වගේම වගුවක් තුළින් බලන්නාට ඔබේ සංසන්දනය ප්‍රභලව නිරීක්ෂණය කරන්නට පුළුවන් වීමත් සිදුවෙනවා.

අනිත් වැදගත් කාරණය වන්නේ පුළුවන් තරම් ඡේද වෙනුවට කරුණු වශයෙන් (point form) තමන්ගේ පිළිතුර දැක්වීම. බොහොමයක් සිසුන්ගේ අත් අකුරු එතරම් පැහැදිළි නැතිනිසා මෙවැනි ක්‍රම මගින් වඩා වැඩි පැහැදිළිතාවයක් තම තමන්ගේ පිළිතුරු පත්‍රය වෙත ලබා දෙන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ මගින් උත්තර පරීක්ෂාකරන පුද්ගලයාට පුදුමාකාර මානසික පහසුවක්ද ඇති කරනවා.


Wednesday, July 25, 2012

උසස් පෙළට දැන් ලෑස්තිද?


නිමේෂ්ට ඉංග්‍රීසි වතුර වගේ කතා කරන්න පුළුවන්. ඒ වුනාට විභාගයේදි නිමේෂ්ට වඩා ඉංග්‍රීසි වලට ලකුණු ගන්න ළමයි දහයක් පහළවක් විතර ඉන්නවා. චමත්ට ඉලෙක්ට්‍රොනික් වැඩ කිරි කජු වගේ පුළුවන් විශ්ව විද්‍යාල සිසුවෙක්. ඒ වුනාට චමත්ට විභාගයේදී ඉලෙක්ට්‍රොනික් වලට හම්බවුනේ B+ එකක් විතරයි. අපිට ජීවිතයේදී මේවගේ යාළුවෝ ඕනෑ තරම් මුන ගැහිලා ඇති.   ඇයි මේ දක්ෂයන්ගේ දක්ෂකම් විභාගයකින් මනින්න බැරි? ඒක අනිවාර්යයයෙන්ම විභාග ක්‍රමයේ ඇති දුර්වලතාවයක්. අවුරුද්දක් තිස්සේ ඉගෙන ගත්ත දේවල් පැය දෙකකින් තුනකින් මනින්නේ කොහොමද කියන එක ගැටළුවක්. අනිත් අතට වත්මන් විභාග ක්‍රමය වෙනුවට යොදාගන්න පුළුවන් වෙනත් ප්‍රායෝගික ක්‍රමයක් තවමත් අප සතුව නැති බවත් පිළිගන්න ඕනේ. අදුරට සාප කරනවාට වඩා එක පහනක් හෝ දැල්වීම වැදගත් නිසා පවතින ක්‍රමයට දොස් නගන්නේ නැතිව පවතින ක්‍රමය තුළ ජයගන්නේ කොහොමද කියලා සිතීම වැදගත්.

තොරතුරු තාක්ෂණය, සන්නිවේදනය, IT කියන්නේ අපේ යුගයේ වචන. ඔබ විභාගයකට මුහුණ දීමට සූදානම් වන විට ඔබ පැහැදිළිව තේරුම් ගතයුතු කරුණ වන්නේ විභාග ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීම යනු එක්තරා සන්නිවේදන ක්‍රමයක් බවයි. අපට කෙලින්ම විභාග පරීක්ෂකවරයෙක් ලගට ගොස් අපේ දැනුම, දක්ෂතා ඔප්පුකර පෙන්විය නොහැකි නිසා අප වෙනුවට අපේ උත්තර පත්‍රය  විභාග පරීක්ෂකවරයා වෙත යොමු කරනවා. සරලව කියනවා නම් අපේ උත්තර පත්‍රය අපේ නියොජිතයායි. අපේ වැඩක් අප වෙනුවෙන් කරන්න කියා වෙන කෙනෙකුට පවරනකොට අපි ඒක ආවට ගියාට කරන්නේ නෑ. අපි ඒ වැඩේ හරියට කරන්න පුළුවන් විශ්වාසවන්ත කෙනෙකුට විතරයි පවරන්නේ. උදාහරණ විදිහට

  • ·         ගමනක් යනවිට ගේ දොර බලා ගැනීමට කෙනෙකුට පැවරීම
  • ·         බැංකුවට ගොස් බිලක් ගෙවීම
  • ·         පාසලේ සිට ළමයාව ගෙදර එක්කාගෙන ඒම

වැනි සිද්ධි ගත්විට ඒ වැඩේ බාර දෙන්න කලින් අපි දෙපාරක් හිතනවා. ඉතින් ජීවිතයේ දිශාව තීරණය කරන විභාගයකදී අපව නියෝජනය කරන උත්තර පත්‍රය නිවැරදිව සකස් කර ගන්නේ කොහොමද කියන එක ගැන යම් පැහැදිළි අදහසක් තිබිය යුතුමයි.

උත්තර පත්‍ර පරීක්ෂකයෙක් අපගේ උත්තර පත්‍රය පමණක් නොවෙයි පරීක්ෂා කරන්නේ. ඔහු ඒ හා සමාන උත්තර පත්‍ර සිය දහස් ගණනක් පරීක්ෂා කරනවා. ඒ නිසා අපි හැමවිටම උත්සාහ කරන්න ඕනේ උත්තර පත්‍ර පරීක්ෂකවරයාට කිසිම අපහසුතාවයක් නැතිව පරීක්ෂා කරන්න පුළුවන් උත්තර පත්‍රයක් නිර්මාණය කිරීමට. උත්තර පත්‍ර පරීක්ෂකවරයාට අපගේ උත්තර පත්‍රය බැලීම වෙහෙස ඇති කරවනවා නම් ඔහු අපට දෙන්න පුළුවන් උපරිම ලකුණු ප්‍රමාණය ලබා නොදෙන්නත් පුළුවන්. උත්තර පත්‍ර පරීක්ෂකවරයාව  වෙහෙසට පත් නොකරන්නේ කෙසේද? සරලම පිළිතුර නම් පිළිතුරු පැහැදිළිව උත්තර පත්‍රය තුළ සටහන් කිරීමයි. ඒ සදහා,

  • ·         පැහැදිළිව ප්‍රශ්නයේ අංකය, අනුකොටස් වල අංක උත්තර පත්‍රයේ වම් අත තීරුවේ ලියන්න.
  • ·         වම් අත තීරුවේ (හෝ පරීක්ෂකවරයාට වෙන්කර ඇති තීරුවේ) වෙන කිසිවක් නොලියන්න.
  • ·         ප්‍රශ්නයක අනුකොටස් අතර රූලක හෝ දෙකක පරතරයක් තබන්න.
  • ·         අනිවාර්යයයෙන්ම සෑම ප්‍රශ්නයකටම පිළිතුරු අළුත් පිටුවකින් ආරම්භ කරන්න.

 කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා බොහොම සරල දේවල්. මෙවැනි දේවල් අත්‍යවශය නෑ කියලා. නමුත් එහෙම හිතන්න කලින් පහළ රූප දෙක බලන්න.
රූපය 1
රූපය 2



   පළවන රූපය ඉහත උපදෙස් අනුගමනය කර ඇති නිසා ප්‍රශ්නයේ අනුකොටස් කිසිම අපහසුතාවයකින් තොරව තෝරාබේරා ගන්නට පුළුවන්. නමුත් දෙවන රූපයේ අනු කොටස් අතර බැලූබැල්මට ඇති පටලැවිලි සහගත තත්වය නිසා සිසුවා කියන්නට හදන දේ එක් වරම ඒ ආකාරයෙන් පරීක්ෂකවයාට තේරෙන්නේ නැති වන්නට පුළුවන. අප තේරුම් ගත යුත්තේ පිළිවෙලකට උත්තර පත්‍රය ඉදිරිපත් කිරීම තුළින් වැඩි ලකුණු ලැබීම කෙසේ වෙතත් අපට හිමි ලකුණ ඒ ආකාරයෙන් සුරැකීම සිදුවන බවයි. නමුත්  අපිළිවෙලට ඉදිරිපත් කිරීම නිසා ලැබිය යුතු ලකුණුත් ඒ ආකාරයෙන්ම නොලැබෙන්න පුළුවන්.

මෙහිදී සදහන් කලේ විභාගයකදී අනුගමනය කළ යුතු සරලම කරුණු කිහිපයක් පමණයි. මීටත් වඩා එහාට ගිය කරුණු කාරණා කිහිපයක් හෙට අනිද්දාම අපි කථා කරමු.