Saturday, February 27, 2010

හීන බලන්න බය වෙන්න එපා..........

මීට වසර 5 කට 10 කට පෙර පැවතුන තත්වය ගැන කල්පනා කරන කොට ඇත්තටම අපිට සන්තෝස වෙන්න පුළුවන්, විශේෂයෙන්ම අපේ රටේ තීරණාත්මක යුගයක් අපේ ජීවිතයේ හොදම කාලයේදී පහළ වීම ගැන. ඒ කියන්නේ අපේ රටේ සෑම අංශයක්ම සංවර්ධනය කරන්න පුළුවන් හොදම අවස්ථාව මේකයි. මේ වගේ වෙලාවක තරුණයන් විදිහට අපිට කරන්න පුළුවන් දේ අප්‍රමාණයි.

හැබැයි මේ සංවර්ධනය කියන්නේ ලංකාව සිංගප්පූරුවක්වත් ඇමරිකාවක්වත් කරන එක නම් නෙමෙයි. ලංකාව ලංකාවම විය යුතුයි. අපේ සංවර්ධනය අපටම අවේණික විය යුතුයි. මෙතුවක් කල් අප අනෙකුත් රටවල් පරමාදර්ශයන් කරගෙන ඒ රටවල ආකෘතියක් මෙහි ගොඩ නගන්න උත්සාහ කළා. මම හිතන්නේ අපට වැරදුනෙත් ඒ නිසාම කියලයි.

මෙතාක් එවැනි දේවල් සිද්ධ වුනේ අපේ පාලකයන්ගේ මෙන්ම ජනතාව තුළද තිබුනු හීනමානයයි. අපට බෑ, අපට නෑ, සුද්දො තමයි වැඩ කාරයා, ඒ රටවල ඉන්න විශේෂඥයෝ තමයි ඕව දන්නේ.... මෙන්න මේ වගේ චින්තනයක් තමයි අපට තිබුනේ. නමුත් වාසනාවකට පහුගිය අවුරුද්දේ ලැබූ ඒ ශ්‍රේෂ්ඨ විජයග්‍රහණය තුළින් මේ චින්තනය දෙදරා ගියා. දශක ගණනක් පුරා හිතේ පැල පදියම් වූ චින්තනයක් එක රැයින් ඉවත් වන්නේ නෑ. මේ නිසාම මෙම දීන සිතුවිලි අපගේ යටි හිතේ තවමත් හොල්මන් කරනවා. මේ අවස්ථාවෙන් අපි නිසි ප්‍රයෝජන ගත්තේ නැත්නම් ඒ දීන සිතුවිලි නැවතත් අපව වෙලා ගනීවි.

මේ ලොකයේ දියුණු රටවල් වගේම ඕනෑම සමාජයක දියුණු ( පොහොසත්) මිනිසුන් සිටිනවා. මේ රටවල් වගේම මේ මිනිස්සුත් පටන් ගත්තේ බොහොම පොඩි තැනකින්. ඔවුන් බොහෝ දෙනෙකුට හීන තිබුනා. මිනිහෙක් හෝ සමාජයක් සිහින දැකිය යුතුයි. සිහින දකින්නේ නැතිව කිසි දිනක කිසිම අරමුණක් ජය ගත නොහැකියි. යමක් ජය ගැනීමට නම් ඒ සදහා සිහින දැකිය යුතුය. ආශා කල යුතුය. මෙයයි මානව ස්වභාවය.

අප ලොකු ලොකු සිහින දකින්නේ නම් අපගේ අරමුණුද විශාලය. නමුත් ලගා කරගැනීම අපහසුය එසේම ලගා කරගත් විට ප්‍රතිලාභද විශාලය. මා දකින ආකාරයට ජාතියක් විදිහට අපි ලොකු සිහින දැකීමට බයක් දක්වයි. ඒ පෙර සදහන් කල දීන සිතුවිලි නිසාමය.

පහුගිය දිනවල කතාවුනු එක් මාතෘකාවක් තමයි ලංකාවෙනුත් සන්නිවේදන චන්ද්‍රිකාවක් යැවීම. කී දෙනෙක් මේකට හිනා වුනාද? මේ සිහිනය ප්‍රතික්ෂේප කලාද? ඇත්තම කියනවා නම් එවැනි දෙයක් කිරීමට අපට පුළුවන් කියා හිතන්න හුග දෙනෙක් අකමැතියි. බයයි. මේ අපට වැරදුනු තවත් තැනක්.

ලොකු හීන දකින්න බය වෙන්න එපා. මොකද මේ රටේ කොල්ලන්ට කෙල්ලන්ට කරන්න බැරි දෙයක් නෑ. අතීතය දිහා හැරිලා බැලුවොතින් ඒක පැහැදිලියි.

හැබැයි තව දෙයක් කියන්න තියනවා. ඒ තමයි හීන බල බල ඉදල නම් මදි. ඒ හීනය සැබෑ කරගන්න අපේ උපරිමයෙන්ම මහන්සි වෙන්න ඕනේ. සිහින දකින්නේ නැතිව වැඩ කරන්න බෑ. වැඩ කරන්නේ නැතුව සිහින වලින් ඇති වැඩක් නෑ. අපිට මේ දෙකම වුවමනායි අපේ රට හෙට සුරපුරයක් කරන්න නම්.

5 comments:

  1. ඔබේ කතා සමඟ මම සම්පූර්ණයෙන්ම එකඟයි. අපිට සිහින තියෙන්න ඕනෙ, පෞද්ගලිකව හා සාමාජීය වශයෙන්. ඒ හීන සඵල කරන්න හැම වෙලේම උත්සාහ කරන්න ඕනෙ. සිහින නැති මිහිහෙක්ට අනාගතයක් නෑ, ඒ වගේමයි සිහින නැති රටක් සංවර්ධනය වෙන්නෙත් නෑ.

    ReplyDelete
  2. ඔවු ඔවු ඒක ඇත්ත. මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න. ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න....

    ReplyDelete
  3. pisskek. me wage bana adaka eeyeka newe mahaththayo 48 idan api kiwwa. oya aakalpa sanwardhanaya, thawa oya wage pacha thiyenne. hema minihek ma eka wage hithanna puluwan thathwekata gena eka puluwan wedak newe. kotin ma buduhamuduruwantawath beriwuna.

    ReplyDelete
  4. @ Anonymous
    හැම මිනිහෙක්ම එක වගේ හිතන්න ඕනෙ කියලා කොතනකවත් කියලා නෑ. එහෙම වෙන්න ඕනෙත් නෑ. ඔය 48 ඉදන් කිව්ව කතා මම දන්නේ නෑ මොකද මම ඒ කාලෙ නම් හිටියේ නෑ. දැන් එතකොට ඔය මහත්තයා මොකද අපිට කරන්න කියන්නේ?
    මතක තියාගන්න බුදු හාමුදුරුවොත් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් එකම හීනයක එකම අරමුණක හිටියා. ඒ වෙනුවෙන් කටයුතු කලා. ඉතින් ඇයි අපට බැරි? මේවා පච නෙමෙයි. මානව ශිෂ්ඨාචාරයේ එදා සිට අද දක්වා දියුණුවේ පදනම මේකයි.
    ඔය විදිහට හිතුවනම් අපි තාමත් රයිට් සහෝදරයෝ හදපු බයිසිකල් වල යාවි.

    ReplyDelete
  5. @ Anonymous

    මම කැමතියි ඔබතුමා කවුද කියලා දැනගන්න. නිර්නාමිකව නැතුව තමුන්ගේ නමින්ම අදහස් ඉදිරිපත් කළානම් නේද වඩා හොඳ...!! මටනම් හිතෙන්නේ ඔබතුමා තාමත් අර යල්පැනපු අදහස් වල එල්ලිලා ඉන්න අතීතයේ ජීවත් වෙන මිනිහෙක් කියලා. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට, ඔබතුමා නම් අනාගතය ගැන කිසිම පැහැදිලි චින්තනයක් නැති පුද්ගලයෙක් කියලා තමයි මට පෙනෙන්නේ. අඩු ගානේ comments දානකොට තමන්ගේ අනන්‍යතාවයවත් හෙළි කරලා විවෘතව වැඩ කරන්න බය පුද්ගලයෙක් කොහොමද රටක අනාගතය ගොඩනඟන හැටි ගැන හිතන්නේ නේද....? මට නම් ඇත්තටම ඔබතුමා වගේ පුද්ගලයෝ ගැන දුකයි.

    ReplyDelete