Sunday, March 21, 2010

ඩෙංගු BTI හා අපි

ඩෙංගු...පසුගිය කාලය පුරාම වැඩිපුරම කතාබහට ලක්වුනු මාතෘකාවක්. මෙවර ඩෙංගු සමග තවත් අළුත් වචනයක් සෑම තැනම කියවුනා. ඒ තමයි BTI බැක්ටීරියාව. මේ සමගම සමාජය තුළ හටගත් මතය නම් කියුබාව මෙම බැක්ටීරියාව මගින් ඩෙංගු උවදුර ජය ගත්තා නම් අපටත් එය කළ හැකි නොවේද යන්නයි. ඇත්ත වශයෙන්ම අපට එය කරන්න පුළුවන. අද සමාජය විශ්වාස කරන්නේ කියුබාවෙන් මෙම බැක්ටීරියාව ගෙන්වා රට පුරා එය ව්‍යාප්ත කිරීමෙන් ඩෙංගු උවදුර නිවාරණය කරගත හැකි බවයි. නමුත් එය ඒ ආකාරයෙන් සරලව දැකිය හැකි කාරණයක්ද?


කියුබානුවන් හා ඩෙංගු උවදුර


‍ඩෙංගු ඉතිහාසය පුරාම වරින් වර කියුබාවට මහත් හිසරදයක් වූ වසංගතයක්. 1981 දී පමණ පැතිරී ගිය වසංගතයෙන් රෝගීන් 158 දෙනෙක් මියගියා. සුපුරුදු පරිදි මෙය ඇමරිකානු කුමන්ත්‍රණයක් ලෙස හැදින්වුවද කියුබානුවන් මීට මුහුණ දීමට පියවර ගනු ලැබුවා. ඒ සදහා ඔවුන් විද්‍යාත්මකවත් දේශපාලන හා සමාජීය වශයෙන් එක්රැස් වූවා. BTI බැක්ටීරියාව අයත් වන්නේ විද්‍යාත්මකව මේ සදහා ඇතිකල විසදුම් ගොන්නටයි. මෙම විසදුම යථාර්තයක් බවට පත්කර ගන්නට දස දහස් ගණනක් සිවිල් ජනතාව එක් රැස් වූවා. ඩෙංගු මදුරුවා විනාශකිරීමේ වගකීම බැක්ටීරියාවට පමණක් බාර නොදී මිනිසුන් තම අවට පරිසරයේ මදුරුවන් බෝවන තැන් නිරන්තරයෙන් සොයාබලා විනාශ කරනු ලැබුවා. එරට ජනමාධ්‍යයද ඩෙංගු රෝගීන් ගණන ගණන් කරනු වෙනුවට ‍ඩෙංගු මර්ධන ව්‍යාපෘතියට මිනිසුන් උන්නදු කරවනු ලැබුවා. දැනුවත් කරනු ලැබුවා. රජය මෙම සමස්ථ ක්‍රියාවලියට අවැසි නායකත්වය දෙනු ලැබුවා. කියුබාව ‍ඩෙංගු ජයගත්තේ සාමූහික ක්‍රියාවලියක් ලෙසිනි. BTI බැක්ටීරියාව එම ක්‍රියාවලිය වේගවත් කරනු ලැබුවා පමණී


BTI බැක්ටීරියාව හා එහි ක්‍රියාවලිය ගැන ඊලග ලිපියෙන් කතා කරමු

Sunday, March 14, 2010

ග්ලුකෝමා - ආලෝකය සොරා ගන්නා

අපට ජීවිතයේ බොහොම සුලබව අසන්නට ලැබෙන කියමන් දෙකක් තමයි ‘දන්නෙම නැතුව උදේ වෙලා’ හා ’දන්නෙද නැතුව රෑ වෙලා’. ඇත්තටම අපි ඇස් පියාගෙන හිටියෝතින් ඉර නැගීමවත් ඉර බැසීමවත් අපට දැනෙන්නෙ නෑ. අන්න ඒ විදිහටම අපට නොදැනීම අපේ පෙනීම එහෙමත් නැත්නම් අපේ ජීවිතයේ ආලෝකය හෙරකම් කරගෙන යන රෝගයක් තමයි ග්ලුකෝමා Glaucoma කියන්නේ.

අනිත් ඇස් රෝග මෙන්ම ග්ලුකෝමා ද දෘෂ්ඨික ස්නායුවට ( ඇසේ සිට මොළයට පණිවිඩ ගෙන යන ස්නායුවට) හානි සිදු කරනු ලබනවා. මේ නිසා ඇසේ පෙනීම පිරිහෙන අතර ප්‍රතිකාර සිදු නොකලෝතින් අන්ධභාවයට පත්වීම වළක්වන්නට බැරිය.

ඇසට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ගෙන ඒමටත් අපද්‍රව්‍යය ඉවත් කිරීමටත් ජලමය දියරයක් නිතරම ඇස තුළ නිපදවෙනවා. ඇතැම් පුද්ගලයන්ගේ මෙම දියරය ගමන් කරන මාර්ගයේ විවිධ අවහිරතා ඇතිවෙනවා. නමුත් දිගින් දිගටම දියරය නිපදවෙන බැවින් ඇස තුළ පීඩනයක් වර්ධනය වනවා. ග්ලුකෝමා රෝගයේ නිධානය මෙයයි.

මෙහි භයානක කම කුමක්ද?

ඇත්තෙන්ම මෙම රෝගයට පැහැදිළි රෝග ලක්ෂණයන් නොමැත. රෝගියාට තම පෙනීමෙහි අඩුවක් හෝ වෙනත් අමුත්තක් නොදැනේ. බොහෝ විට නොදැනීම අන්ධභාවයට පත් වීමට ඇති ඉඩකඩ වැඩිය. නමුත් පහත කරුණු එකක් හෝ වැඩි ගණනක් තිබීම රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩි කරයි.

1. වයස අවුරුදු 40ට වැඩි වීම
2. මව පියා සහෝදර සහෝදරියන් හෝ කිට්ටු නෑදෑයන්ට රෝගය වැළදී තිබීම
3. අවිදුර දෘෂ්ඨිකත්වය - ළග පමණක් පෙනීම
4. කලක පටන් ඉරුවාරදය පැවතීම
5. කෝට්සෝන් (ස්ටීරොයිඩ්) අඩංගු බෙහෙත් භාවිතය

තවමත් මෙම රෝගය සුව කිරීමට නිසි ප්‍රතිකාරයක් සොයා ගෙන නැත. වාසනාවන්ත ලෙස රෝගය හදුනා ගැනීමට හැකිවූවෝතින් එය පාලනය කිරීම පමණක් කළ හැක. නැතහොත් තමන්ට හොරෙන් ජීවිතය අදුරු වී යනු ඇත.

නිකම් ලෙඩ ගැන කියලා බය කරනවා කියලා හිතන්න එපා. මම මේක ලිව්වේ මගේ පෞද්ගලික අත්දැකීමක් නිසයි. ඒ මගේ ළගම නෑදෑයෙකුට මෙය වැළදී ඇති බව බොහොම අහන්බෙන් හොයා ගත්ත නිසා. තම බිරිදට කණ්නාඩි කුට්ටමක් ගැනීමට ගිය අවස්ථාවේ නිකමට වගේ තමන්ගේ ඇස් ද පරීක්ෂා කරගත් නිසා අදටත් ආලෝකය විදින්නට ඔහු වාසනාවන්ත වුනා. ඒ වාසනාව හැමෝටම ලැබෙන්නයි මේක ලිව්වේ.

Saturday, February 27, 2010

හීන බලන්න බය වෙන්න එපා..........

මීට වසර 5 කට 10 කට පෙර පැවතුන තත්වය ගැන කල්පනා කරන කොට ඇත්තටම අපිට සන්තෝස වෙන්න පුළුවන්, විශේෂයෙන්ම අපේ රටේ තීරණාත්මක යුගයක් අපේ ජීවිතයේ හොදම කාලයේදී පහළ වීම ගැන. ඒ කියන්නේ අපේ රටේ සෑම අංශයක්ම සංවර්ධනය කරන්න පුළුවන් හොදම අවස්ථාව මේකයි. මේ වගේ වෙලාවක තරුණයන් විදිහට අපිට කරන්න පුළුවන් දේ අප්‍රමාණයි.

හැබැයි මේ සංවර්ධනය කියන්නේ ලංකාව සිංගප්පූරුවක්වත් ඇමරිකාවක්වත් කරන එක නම් නෙමෙයි. ලංකාව ලංකාවම විය යුතුයි. අපේ සංවර්ධනය අපටම අවේණික විය යුතුයි. මෙතුවක් කල් අප අනෙකුත් රටවල් පරමාදර්ශයන් කරගෙන ඒ රටවල ආකෘතියක් මෙහි ගොඩ නගන්න උත්සාහ කළා. මම හිතන්නේ අපට වැරදුනෙත් ඒ නිසාම කියලයි.

මෙතාක් එවැනි දේවල් සිද්ධ වුනේ අපේ පාලකයන්ගේ මෙන්ම ජනතාව තුළද තිබුනු හීනමානයයි. අපට බෑ, අපට නෑ, සුද්දො තමයි වැඩ කාරයා, ඒ රටවල ඉන්න විශේෂඥයෝ තමයි ඕව දන්නේ.... මෙන්න මේ වගේ චින්තනයක් තමයි අපට තිබුනේ. නමුත් වාසනාවකට පහුගිය අවුරුද්දේ ලැබූ ඒ ශ්‍රේෂ්ඨ විජයග්‍රහණය තුළින් මේ චින්තනය දෙදරා ගියා. දශක ගණනක් පුරා හිතේ පැල පදියම් වූ චින්තනයක් එක රැයින් ඉවත් වන්නේ නෑ. මේ නිසාම මෙම දීන සිතුවිලි අපගේ යටි හිතේ තවමත් හොල්මන් කරනවා. මේ අවස්ථාවෙන් අපි නිසි ප්‍රයෝජන ගත්තේ නැත්නම් ඒ දීන සිතුවිලි නැවතත් අපව වෙලා ගනීවි.

මේ ලොකයේ දියුණු රටවල් වගේම ඕනෑම සමාජයක දියුණු ( පොහොසත්) මිනිසුන් සිටිනවා. මේ රටවල් වගේම මේ මිනිස්සුත් පටන් ගත්තේ බොහොම පොඩි තැනකින්. ඔවුන් බොහෝ දෙනෙකුට හීන තිබුනා. මිනිහෙක් හෝ සමාජයක් සිහින දැකිය යුතුයි. සිහින දකින්නේ නැතිව කිසි දිනක කිසිම අරමුණක් ජය ගත නොහැකියි. යමක් ජය ගැනීමට නම් ඒ සදහා සිහින දැකිය යුතුය. ආශා කල යුතුය. මෙයයි මානව ස්වභාවය.

අප ලොකු ලොකු සිහින දකින්නේ නම් අපගේ අරමුණුද විශාලය. නමුත් ලගා කරගැනීම අපහසුය එසේම ලගා කරගත් විට ප්‍රතිලාභද විශාලය. මා දකින ආකාරයට ජාතියක් විදිහට අපි ලොකු සිහින දැකීමට බයක් දක්වයි. ඒ පෙර සදහන් කල දීන සිතුවිලි නිසාමය.

පහුගිය දිනවල කතාවුනු එක් මාතෘකාවක් තමයි ලංකාවෙනුත් සන්නිවේදන චන්ද්‍රිකාවක් යැවීම. කී දෙනෙක් මේකට හිනා වුනාද? මේ සිහිනය ප්‍රතික්ෂේප කලාද? ඇත්තම කියනවා නම් එවැනි දෙයක් කිරීමට අපට පුළුවන් කියා හිතන්න හුග දෙනෙක් අකමැතියි. බයයි. මේ අපට වැරදුනු තවත් තැනක්.

ලොකු හීන දකින්න බය වෙන්න එපා. මොකද මේ රටේ කොල්ලන්ට කෙල්ලන්ට කරන්න බැරි දෙයක් නෑ. අතීතය දිහා හැරිලා බැලුවොතින් ඒක පැහැදිලියි.

හැබැයි තව දෙයක් කියන්න තියනවා. ඒ තමයි හීන බල බල ඉදල නම් මදි. ඒ හීනය සැබෑ කරගන්න අපේ උපරිමයෙන්ම මහන්සි වෙන්න ඕනේ. සිහින දකින්නේ නැතිව වැඩ කරන්න බෑ. වැඩ කරන්නේ නැතුව සිහින වලින් ඇති වැඩක් නෑ. අපිට මේ දෙකම වුවමනායි අපේ රට හෙට සුරපුරයක් කරන්න නම්.

Friday, February 26, 2010

රසායන හා ක්‍රියාවලි පිළිබද ඉංජිනේරුවෝ

අපි එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන සබන් කැටයේ පටන් කර්මාන්තශාලාවේදී භාවිතා කරන අධි සාන්ද්රභ සල්ෆියුරික් අම්ලය දක්වා මෙකී නොකී සෑම දෙයක්ම නිපදවෙන්නේ කොහේ හෝ කර්මාන්තශාලාවක මහා පරිමාණයෙන්ය. මේ සෑම දෙයකම ආරම්භය වුනේ විද්යානගාරයයි. විද්යා ගාරයේදී පරීක්ෂණ නල කිහිපයක්, බීකර කිහිපයක් යොදා ගෙන නිපද වූ දෑ කර්මාන්තශාලාවක් දක්වා විකාශය කිරීමට විද්යාකඥයකුගේ දැනුම ප්රරමාණවත් නැත. ඉංජිනේරුවරයකුගේ දැනුම ද ප්රමමාණවත් නැත. ඒ සදහා මේ සියලු දැනුමේ සංකලනයක්, එනම් රසායන හා ක්රිකයාවලි පිළිබද ඉංජිනේරුවෙක් (chemical and process engineer) තමයි ඕනෙ කරන්නේ.

ලාංකික අපට තරමක් නුපුරුදු වුනාට ලෝකය පුරාම ඉතා ඉහළ ඉල්ලුමක් තියෙනල ඒ වගේම ඉහළ වැටුප් තලයක පවතින වෘත්තියක් ලෙස මෙය දක්වන්න පුළුවන්.

ඇතමෙක් මෙය universal engineering ලෙස හැදින්වීමටද උත්සාහ දරනවා. එහි යම්තාක් දුරකට සත්යiයතාවයකුත් තියෙනවා. ඒ chemical and process engineering යනු සියළුම ඉංජිනේරු විෂයන්ගේ මෙන්ම රසායන හා පරිඝනක විද්යා වේද එකතුවක් වන නිසාවෙනි.

ලංකාව තුළ මෙම වෘත්තිය තවමත් ප්රේචලිත නැත්තේ අප රටේ කර්මාන්තශාලා නොමැති වීමයි. අප සතුව පැවති රනාල සල්ෆියුරික් කර්මාන්තශාලාව, පරන්තන් රසායන කර්මාන්තශාලාව, යූරියා කර්මාන්තශාලාව ආදී සියල්ල අද වැසී ගොස්ය.

නමුත් නැවතත් නැගී සිටීමට කාලය එළඹ ඇත. මේ පිළිබදව තවත් ලිපි කිහිපයක් ඉදිරියේදී පල කිරීමටද අදහස් කරමි.

Thursday, January 28, 2010

කව්ද මෝඩයෝ?

ම්ම්ම්.... වැඩ ගොඩක් මැද්දෙ ඉදගෙන වුනත් මට ‍මේ ලිපිය ලියන්න හිතුනේ මා දුටු blog කිහිපයක් හා facebook එකේ දුටු අදහස් කිහිපයක් නිසයි. ඇතමෙක් මේක බොහොම ප්‍රාථමික,ළාමක මෙන්ම ගල් යුගයේ මතයක් ලෙස දකින්නට පුළුවන්.

මම කතා කරන්න යන්නේ ජනාධිපතිවරණය හා රාජ සංකල්පය ගැනයි. කිහිප දෙනෙක් ජනතාව තුළ තිබෙන රාජ සංකල්පය බොහොම සමච්චලයට ලක් කර තිබුනා. නමුත් මම දකින ආකාරයට අපේ රටේ විතරක් නෙමෙයි දකුණු ආසියාව පුරාම ජනතාව ශ්‍රේෂ්ඨ රජෙක් යටතේ ජීවත් වීමට තවමත් ප්‍රිය කරනවා. එය මෝඩ කමක්වත් සිනහවට කාරණයක්වත් නොවෙයි. ඒ වසර දෙදහස් ගණනක් මුලුල්ලේ රජුන් සමග ජීවත් වීම අපේ ලේ වලට බද්ධ වී තිබීම නිසයි.

මේ තත්වය අපට දේශපාලන කරලිය පුරාම දකින්නට ලැබෙනවා. ජනතාව තමන් සහය දක්වන දේශපාලන පක්ෂය එහි නායකයා කුමන තීන්දු තීරණ ගත්තද ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ තමන්ගේ රාජ පක්ෂපාතීත්වය නොහොත් නායකත්වයට ඇති පක්ෂපාතීත්වය නිසාය. ඒ නිසා ෆොන්සේකා මහතාට මනාපය පල කළ අයගෙන් අතිමහත් බහුතරයක් එසේ කළේ මේ කාරණාව නිසාමය. එදා රනිල් වික්‍රමසිංහ මහතා තම පාක්ෂිකයන්ට දුන් නියෝගය අනුව ඔවුන් කටයුතු කර ඇත. තවමත් රටේ බහුතරයකගේ ස්වභාවයයි.

මා දකින්නේ මහින්දට ඡන්දය දුන් බොහෝ දෙනෙකු එතුමාට ඡන්දය දුන්නේ ඉමහත් ආදරයකින් යුක්තවය. ඡන්දය දැමීමට පෙර බුදුන් වැද පහන් පත්තු කර මහින්ද දිනේවා යැයි ප්‍රාර්ථනය කර ඡන්ද පොළට ගිය ඡන්ද දායකයෝ මම පුද්ගලිකවම හදුනමි. ඔබ බොහෝ දෙනෙකුට එය සිනහවකට කාරණයක් වේවි. නමුත් ඇත්ත තත්වය නම් රටේ ජනතාව හද පතුලෙන්ම ආදරය කරන නායකයකු අද පහළ වී ඇත.

මේ තත්වය අන්තර්ජාලයේ සිටින ඇතැම් පණ්ඩිතයන්ට ජනතාව මොඩයන් සේ පෙනීමට හේතු වී ඇත. තමන් ජනතාව වෙත ඉදිරිපත් කළ මතය පැහැදිළී ලෙස ප්‍රතික්ෂේප වූ විට ජනතාව මොඩයෝ යැයි චෝදනා කිරීම නරියා මිදි තිත්තයි කිව්වා වැනිය. අවංකවම තමන්ට වැරදුනේ කොතැනද ජනතාවගේ සිතුම් පැතුම් කෙසේදැයි තේරුම් ගැනීමට මොවුන්ට පුළුවන්නම් මීට වඩා අගනේය.