Wednesday, August 19, 2009

හෑල්ලුව

          දවසක් රෑ නිදි කිර කිර ඉන්න කොට ගෙදර කට්ටිය දොරමඩලාව බලන්න පටන් ගත්තා. ඒකෙ හිටිය දීපාල් සූරියආරච්චි මහත්තයා කියපු කතාවක් ඇත්ත කියල මටත් හිතුනා.

          එතුමා කථා කලේ අළුත් තාක්ෂණයට සිංහල නම් දැමීම ගැනයි. වෙන විදිහකට කියනවා නම් mouse එකට මූසිකය වගේ නම් දාන එක ගැනයි.

          එතනදී එතුමා මෙහෙම කතාවක් කිව්වා. බටහිරින් අපේ ජන සමාජයට මුලින්ම ආපු තාක්ෂණයක් තමයි බයිසිකලය. ඒක ‍අපේ මිනිස්සු ඉතා තදින් වැළඳගත්තා. ඒක අපේ දෙයක් බවට පත් කර ගත්තා. අද බයිසිකල් රේස් කියන්නේ අපේ අවුරුදු උත්සව වලට නැතුවම බැරි අංගයක්. ලාංකීය ගැමියා කෙතරම් බයිසිකලයට ලං වූවාද ඉන් කෙතරම් වැඩ ගත්තාද යන්න ගුනදාස අමරසේකර ශූරීනිගේ බයිසිකලය කෙටි කතාවෙන් පැහැදිළි වනවා.

          ඒ මොනවා වුනත් අපේ මිනිස්සු බයිසිකලයට හෝ ඊට සම්බන්ධ අනෙකුත් දේවල් වලට සිංහල නම් දෙන්න ගියේ නෑ. නම් දුන්නත් ඒවා සමාජය සමඟ බද්ධ වූයේ නෑ. ඇත්ත වශයෙන්ම අපිත් කල යුත්තේ නව තාක්ෂණයට බලහත්කාරයෙන් අපේ නම් පටවා ඒවා අපේ කර ගන්න අසාර්ථක උත්සාහයක යෙදීම නොව, නව තාක්ෂණය සමඟ වැඩ කර ඉන් අපට ගැලපෙන පරිදි උපරිම ප්රයෝජනයක් ගෙන එය අපේ කර ගැනීමයි.

          අවශ්යය නම් සමාජය තුළින්ම නිරායාසයෙන් ඒවාට ගැළපෙන අපේ නම් පහළ වේවි. එසේ නැතුව බලහත්කාරයෙන් අපේ නම් පැටවීමෙන් සිදු වන්නේ ඒවා අපෙන් ඈත් වීම හා අපේ බස අප සමාජය තුළම හෑල්ලු වීමකි.


3 comments:

  1. ඔබේ කතාව ඇත්ත.
    නමුත් මෙතැන පොඩි ගැටළුවක් තියෙනවා.

    //අවශ්‍ය නම් සමාජය තුළින්ම නිරායාසයෙන් ඒවාට ගැළපෙන අපේ නම් පහළ වේවි.
    මේක නම් කොහොමටවත් නිකම් වෙන්නේ නෑ. නම් නිකම් පහල වෙන්නේ නෑ. අපි(මිනිසුන්) විසින් නම් පහල කල යුතුයි. අපි කලේ නැත්නම් කව්රු කරන්නද?(දෙවියො කරල දෙන්නද?)

    මේකට හොඳම උදාහරණ අපිට ඉංග්‍රීසියෙන් ගන්න පුළුවන්. පෙරදිග රටවල් වලින්(විශේෂයෙන් ජපානය හා චීනය ආදී රටවලින්) බටහිරට ගොඩක් දේවල් ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ එක දේකටවත් ඔවුන් ඒවායේ මුල් නම් භාවිතා කර නෑ. ඒ හැම එකකටම ඉංග්‍රීසි නම් දාගෙන තියෙනවා. එමගින් ඔවුන් ඉංග්‍රීසියෙහි භාවිත පරාසය පුළුල් කර ගන්නවා. මෙමගින් ඔවුන් ඉංග්‍රීසිය වෙන කිසිම බසක් මත නොයැපෙන බසක් බවට පත් කර ගන්නවා. නමුත් අපි නව සංකල්ප වලට තවමත් වෙන බසක වචන පාවිච්චි කරනවා නම් අපේ බස එම භාෂා මත රැ‍ඳෙනවා(යැපෙනවා) නොවේද? එමගින් භාෂාවේ පරාසය පුළුල් වීමක්ද සිදුනොවේ. මෙයින් වන හානිය නම් කල් යාමේදී අපේ බස වෙනත් බසකින් (බොහෝ විට ඉංග්‍රීසියෙන්) ප්‍රතිෂ්ඨාපනය වීමේ අතිවිශාල අවදානමක් ඇති වීමයි.

    //බලහත්කාරයෙන් අපේ නම් පැටවීමෙන් සිදු වන්නේ ඒවා අපෙන් ඈත් වීම හා අපේ බස අප සමාජය තුළම හෑල්ලු වීමකි.
    මෙය සිදුවන්නේ වචන කිසිම අවබෝධයකින් තොරව නිර්මාණය කිරීමේදීය. උදාහරණයක් විදියට සිංහල උරුවට හා භාෂා භාවිතයට නොගැලපෙන ලෙස නව නමක් යෙදීමෙන් එය සමාජයෙන් ප්‍රතික්ෂේප වීමට සිදුවෙනවා. (නමක් යෙදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සඳහා http://trueorcrazy.blogspot.com/2009/08/word-production.html බලන්න.) මෙතැනදී බොහෝවිට සිදුවන්නකි, නම් නිර්මාණය කරන්නේ බොහෝවිට භාෂා බහුශ්‍රැතියන්(අරිසෙන් අහුබුදු වැනි පණ්ඩිතයන්) නිසා ඔවුන් තමන්ගේ බහුශ්‍රැතිකම පෙන්වීමට සාමාන්‍ය සමාජයේ භාවිතයට නොගැලපෙන "මහප්‍රාණ" නම් යෙදීමයි. මෙයින් සිදුවන්නේ අවැඩක්ම පමණයි යන්න ඔවුන් කවදා තේරුම් ගනීවිද?

    හරිආකාරයෙන් නමක් නිර්මාණය කලහොත් එය කිසිසේත් ප්‍රතික්ෂේප වන්නේ නෑ. ඒ සඳහා උදාහරණ ඕනෑ තරම් තියෙනවා! කුමාරතුංග මුනිදාස උතුමන් නිර්මාණය කල නව සරල වචන අදත් සාමාන්‍ය භාවිතයේ පවතිනවා.

    ReplyDelete
  2. මම දන්න හැටියට නං අරිසෙන් අහුබුදු මහප්‍රාණ භාවිතකරන්නෑ
    එතුමාගෙ මුලු නම ආරියසේන ආසුභෝධ කියව එක වෙනස් කරලලු දැන් තියන නම හදාගත්තෙ

    ReplyDelete
  3. ඔව් ඒ කතාව ඇත්ත. අන්න ඒ වගේ සරල ගැලපෙන වචන තමයි ඕනෙ කරන්නේ.

    ReplyDelete