Thursday, January 13, 2011

සෙනසුරයි සෙනසුරාගේ අම්මයි


            ඔන්න දවසක් සෙනසුරාගේ අම්මා සෙනසුරාගෙන් ඇහුවලු ඇයි පුතේ උඹ හැමදාම දුප්පත් අසරණ මිනිස්සුන්ටම කරදර කරන්නෙ? ඇයි අර හොදට කාලා බිලා සැපට ඉන්න එවුන්ට මුකුත් කරන්නෙ නැත්තේ අනික උඔ හැමදාම කරදර කරන්නේත් එකම මිනිස්සු ටිකකටනේ කියලා.

සෙනසුරා ඉතින් අම්මට ඕව තේරෙන්නෙ නෑ කියලා යන්න ගියාලු.

          දවසක් සෙනසුරා අම්මට කිව්වලු අම්මේ මට කෙහෙල් ගහක් විනාස කරන්න ඕනෙ කියලා. ඉතින් අම්මා කිව්වලු අර ඕනෙ තරම් තියෙන්නේ ගේ පිටිපස්සේ ගිහින් ඕනෙ දෙයක් කරගන්න කියලා. සෙනසුරත් ඉතින් ගිහින් වත්තේ තිබ්බ හොදම කෙහෙල් ගහ විනාස කරල ආවලු. ඒක දැක්ක සෙනසුරාගේ අම්ම කෑ ගැහුවලු මොකද්ද බං උඔ කරපු අපරාදේ අර අච්චර කේඩෑරි වේච්ච, වේලිච්ච ගස් තියෙද්දි උඹ මේ හොදම ගහට කරපු වින්නැහියක් කියලා. එතකොට සෙනසුරා කියපි දැන් අම්මටත් ඕනේ හොදට තියෙන ගස් රැකගෙන ඔය කනාටු ගස් ටික විනාස කරන්න නේ. මාත් එහෙම තමයි අම්මේ ඔය හොදට ඉන්න මිනිස්සුන්ට කරදරයක් කරන්න යන්නෙ නෑ කියලා.

            තව දවසක් ඔන්න සෙනසුරා වත්තෙන් අලුත් කෙහෙල් කැනක් කපාගෙන ඇවිත් ඒකෙන් එක ඇවරියක් කපාගෙන ගියාලු. ඔන්න ඉතින් හවස් වෙලා සෙනසුරාගෙ අම්මා මේ කෙහෙල් කැන දැකලා එයත් ඇවරියක් කපා ගත්තලු. ඒක දැකපු සෙනසුරා ඇහුවලු අම්මේ අර වත්තේ අච්චර කෙහෙල් කැන් තියෙද්දි මම ඇවරියක් කපා ගෙන පැත්තකින් තියපු කෙහෙල් කැනෙන්ම ඇවරියක් කැපුවේ කියලා. අම්මා එතකොට කිව්වලු ඉතින් පුතේ මේ ඇවරියක් කපපු කැනක් තියෙද්දී අනිත් ඒවායෙන් කැපුවනම් අපරාදෙනෙ කියලා. සෙනසුරා එතකොට කිව්වලු අන්න ඒ නිසයි අම්මේ මාත් හැමතිස්සේම එකම අයට කරදර කරන්නේ කියලා.

Thursday, November 18, 2010

චාටර් කූඹියා

මේ අද ඊමේල් එකකින් ආපු අපූරු කතාවක්...

Sunday, July 18, 2010

‍ඩෙංගු මාරයා - ගස්ලබු වීරයා

මීට පෙර ‍ඩෙංගු වලට අපූරු බෙහෙතක් කියා ලිව්ව ලිපියට අදාළ වෛද්‍ය හෙට්ටිගේ මහතා ගැන අද දෙරණ වෙබ් අඩවියේ සදහන් වුනා.මේ තියෙන්නේ ඒ උපුටා ගැනීමයි.

ඩෙංගු රෝගීන් සඳහා පැපොල් (ගස්ලබු) පත්‍රවල යුෂ සුදුසු බව වෛද්‍ය පරීක්ෂණවලින් සනාථ වී ඇත. ළමුන් 10 - 15ත් අතර පිරිසක්ද ඇතුළුව ඩෙංගු වැළදුණු රෝගීන් 70 දෙනෙකු යොදා ගනිමින් සිදුකළ පරීක්ෂණයක් සිදුකර ඇති අතර ඔවුන්ගෙන් සෑම අයෙකුටම පැපොල් කොළ යුෂ මිලි ලීටර් 10ක් පානය කිරීමට දී තිබේ. 

සාමාන්‍යයෙන් සිදුකරන වෛද්‍ය පරීක්ෂණවලින් ඕනෑම රෝගයක් සුවවීමේ ප්‍රතිශතය වන්නේ 50%ක් පමණය. නමුත් පැපොල් යුෂ යොදා ගනිමින් ඩෙංගු රෝගීන් වෙනුවෙන් සිදුකළ මෙම පරීක්ෂණයේ ප්‍රතිඵලය 100%ක් බවට ඔප්පුවී ඇතැයි වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතා ප්‍රකාශ කර ඇත. ඵලදාව ඇති, හොඳින් වැඩුණු රතු වර්ගයේ ගස්ලබු (Red lady) ගසක පත්‍රය පමණක් ගෙන පිරිසිදු ජලයෙන් හොඳින් සෝදා එම පත්‍රය වංගෙඩියක දමා කොටාගත යුතුය. වතුර හෝ ලුණු වතු නොදමා ගස්ලබු කොළය පමණක් මෙසේ හොඳින් කොටා ගෙන එයින් මිරිකා ගත් සාරය බීමට ගත යුතුය. සීනි හෝ වතුර හෝ කිසිවක් මිශ්‍ර නොකර ගස්ලබු කොළ සාරය පමණක් පානය කළ යුතු බව වෛද්‍ය හෙට්ටිගේ මහතා සඳහන් කරයි. 

වැඩිහිටියන් මි.ලී 10ක ප්‍රමාණයක්ද, වයස අවුරුදු 05 - 12ත් අතර ළමුන් මි.ලී 05ක් ප්‍රමාණයක්ද දිනකට දෙවරක් පානය කළ යුතුය. ඩෙංගු වැළඳී අසාධ්‍ය මට්ටමේදී මෙය පානය කිරීමේ ප්‍රතිඵලයක් නොලැබේ. ඩෙංගු යැයි හඳුනාගත් වහාම මෙය පානය කළ යුතු අතර ඩෙංගු රෝගය සඳහා දෙනු ලබන බෙහෙත් සමඟ මෙය බීමට ගත හැකිය. 

මෙසේ පැපොල් කොළ යුෂ බීමට ගැනීමෙන් ඩෙංගු රෝගීන්ගේ සුදු රුධිරාණු මෙන්ම රුධිර පට්ටිකා වර්ධන කෙරේ. එසේම ‍ රුධිරය කැටි ගැසීම වර්ධනය කරන අතර ඩෙංගු වැළඳීමෙන් අක්මාවට වන හානිය යම් තරමක් දුරට සමනය වේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ රුධිර පට්ටිකා 150,000 - 350,000 අතර පවතී. ඩෙංගු රෝගය වැළඳීමෙන් එය 150,000ක් වැනි අඩු තත්වයක් පැවතියහොත් පැපොල් කොළ පානය කිරීමෙන් එය වර්ධනය කරගත හැකිය.

මගේ මව මෙන්ම සහෝදරයෙක්ද මෙම ප්‍රතිකාරය නිසා නිට්ටාවටම සුව වූ අතර මෙය රට පුරා ප්‍රචාරය කිරීම සැමගේ වගකීම වේ.
Dr.Sanath Hettige (MBBS, DFM, MD, MCGP)
The Medical Clinic                                                                            Tel – 0112851517
92,Wattegedara Rd,                                                                        Email – hettiges@sltnet.lk
Maharagama
                

Friday, July 2, 2010

ඩෙංගු වලට අපූරු බෙහෙතක්

ඩෙංගු.... සමාජයක් විදිහට අප ඉදිරියේ පවතින තවත් එක් අභියෝගයක්. නමුත් අපේ අවාසනාවකට මෙන් අනවශ්‍ය ආකාරයෙන් දේශපාලනී කරණය වීම නිසා උඩු දුවපු, එක තැන පල්වුනු එහෙමත් නැත්නම් වන වුනු ප්‍රශ්නයක් විදිහටයි මම මෙය දකින්නේ. විශේෂයෙන්ම මේ අනවශ්‍ය දේශපාලනී කරණය වීම නිසා මෙහි සම්පූර්ණ වගකීම රජය හා ඊට සම්බන්ධ ආයතන වලට පැවරීමටත් මේ සම්බන්ධයෙන් තමන්ගේ වගකීමෙන් මිදීමටත් රටේ බොහෝ දෙනෙක් පෙළඹී සිටින බව මගේ හැගීමයි.

මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු සිතන්නේ කියුබාවෙන් BTI බැක්ටීරියාව ගෙන්වීමෙන් මීට සදාකාලික විසදුමක් ලැබෙන බවයි. මීට පෙර ලිපියකින්ද මා පෙන්වා දුන්නේ එය එසේ නොවන බවයි.

අද මා සදහන් කරන්නේ මීට අපේ රටේම වෛද්‍යවරයෙක් විසින් සොයාගත් අපූරු බෙහෙතක් ගැනයි. කවුරුත් දන්න දෙයක් තමයි ඩෙංගු වැළදුනු විට අපේ රුධිරයේ රුධිර පට්ටිකි සීඝ්‍රයෙන් අඩුවන බව. සාමාන්‍යයෙන් අපේ රුධිරයේ රුධිර පට්ටිකා 150,000-450,000 ප්‍රමාණයක් රුධිර මයික්‍රො ලීටරයක තිබිය යුතුයි. රුධිර වාර්ථාවක මෙය දැක්වෙන්නේ PLT නමින්. ඩෙංගු වැළදුනු විට මෙය 50,000 දක්වා වුවත් අඩු වීමේ අවධානමක් පවතිනවා. සාමාන්‍යයෙන් භාවිතා වන බටහිටඖෂධ වලින් දිනකට මෙය වර්ධනය කරගන්නට පුළුවන් වන්නේ 10,000 පමණය. නමුත් මේ අපූරු ඖෂධයෙන් 70,000 පමණ වර්ධනයක් ලබා ගත හැක. මේ ඖෂධය තව දුරටත් අපූරු වන්නේ එය ලංකාවේ ඕනෑම ගෙවත්තක පහසුවෙන් වැවෙන ශාකයක් වීමයි. මේ දැක්වෙන්නේ පසුගිය දිනක මෙම ඖෂධය ලබාගත් රෝගියකුගේ විස්තරයි.

මෙහිදී 28 දා මෙම ‍ඖෂධය භාවිතා කළ අතර පැය 24ක කාලයක් තුළදී රුධිර පට්ටිකා 134,000 සිට 207,000 දක්වා වර්ධනය විය.

නමුත් අවාසනාවකට මේ ගැන තවමත් රටේ බලධාරීන්ගේ අවධානය යොමු වී නැත. ඒ නිසාම මේ ගැන කිසිදු හෙළිදරව්වක් කිරීමට මා පැකිළෙන්නේ කොතළ හිඹුටු වලට වූ දේ මෙයටත් වේ යැයි බියෙනි. නමුත් ඇත්තෙන්ම අප මේ ගැන රටේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රචලිත කළ යුතුය. එය‍ මා සිතන්නේ අප සැමගෙම යුතුකමකි.
‍‍
ඩෙංගු ගැන දේශපාලන කෝණයකින් නොව මිනිස් හදවතකින් බලමු. තමන්ගේ ගෙවත්තේ, ආයතනයේ ඩෙංගු මදුරුවන් බෝ නොවීමේ වගකීම තමන් අතට ගන්න. ඩෙංගු නැතිකළ හැක්කේ සමාජීය එකමුතුවකින්ම පමණී. නැතුව බැක්ටීරියාවකින්නම් නොවේ.

Wednesday, June 23, 2010

අපි පොලිතින් පුච්චමු

පොලිතින් ............. අපේ රටේ තවත් එක් ප්‍රබල ගැටලුවක්. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඒ වුනාට පොලිතින් භාවිතයේ අඩුවකුත් නෑ. පාවිච්චි කරල ඉවර වුනාට පස්සේ බොහෝ දෙනෙක් කරන්නේ කුණු කූඩෙ‍ට දාන එකනේ. එක අතකින් බැලුවහම කාට මොන කරදරයක් වුනත් තමන්ට කරන්න පුළුවන් ලේසිම වැඩෙත් ඒකනේ. හැබැයි හුග දෙනෙක් පොලිතින් පුළුස්සන්න ටිකක් මැළිකමක් දක්වනවා. ඒ විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට එකතු වෙනවා කියන මතය නිසයි. ඇත්තම කියනවා නම් මමත් හිතාගෙන හිටියේ එහෙම තමයි. නමුත් අද අපේ සර් කෙනෙක් ඉදිරිපත් කළ තර්කය අපිට අළුතෙන් හිතන්නට යමක් එකතු කළා.
දැන් බලන්න මේ තමයි පොලිතින් වල සංයුතිය.
CH3 – (CH2)n –CH3
පොලිතින් පිච්චුවාම පිට වෙනවා කියලා කියන්නේ ඩයොක්සින් කියන සංයෝගයයි. මේ තියෙන්නේ අන්න ඒක.

දැන් තියන ගැටලුව තමයි පොලිතින් පිළිස්සූවිට කොහොමද ඩයොක්සින් හැදෙන්නේ කියන එකයි. අපි දන්න රසායනවිද්‍යාව‍ට අනුව නම් වෙන්න බෑනේ ඉතින්.
මෙතනදී මම තේරුම් ගත්ත දේ තමයි කවුරු හරි කිව්ව පළියට හරි එහෙමත් නැත්නම් පොතක පත්තරයක තිබුනයි කියලා අපි යමක් පිළිගන්න නරකයි. අපි ඉගෙන ගත්ත දැනුම තර්කානුකූලව යොදල ඒ ගැන තීරණයකට එන්න ඕනේ කියලා මට හිතුනා. ඇත්තටම අපේ රටේ සරසවි හෝ එවැනි වෙනත් ආයතනවල ශිෂ්‍යන් මේ වගේ හිතන්න පුරුදු වෙලා නෑ නේද? ඒ ගැනත් අපි හිතන්න ඕනේ කාලය එළඹිලා.
දැන් ආපහු කතාවට එමුකෝ. මම ඉතින් මේ ගැන තව ටිකක් හොයලා බැලුවා. කතාව ඇත්ත. පොලිතින් පිච්චුවා කියලා පරිසර හානියක් වෙනවා කියන්න සාක්ෂි නෑ. හැබැයි පොලිතින් සහිත කුණුගොඩවල් නම් පුච්චන්න එපා. ඒ කුණුගොඩේ තියන ක්ලෝරීන් අඩංගු ද්‍රව්‍ය සමග ඩයොක්සින් හැදෙන්න පුළුවන් නිසයි. ඒ වගේම PVC වගේ ක්ලෝරීන් අඩංගු ප්ලාස්ටික් වර්ගත් පුළුස්සන්න එපා.
ඒ කියන්නේ අපිට බය නැතුව පොලිතින් ඉන්ධනයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මොකද පොලිතින් කියන්නේ බොරතෙල් වල තවත් එක් ප්‍රථිඵලයක්. විශේෂයෙන්ම ලී කුඩු හෝ දර ලෙහෙ‍සියෙන් ගිනි අවුළුවා ගන්නට බැහැ. ඒ නිසයි අපි භූමිතෙල් වැනි දෙයක් යොදන්නේ. ඒ වෙනුවට අපට පුළුවන් පොලිතින් ඒවා සමග එක් කර ගෙදර දොරේ ඉන්ධනයක් විදිහට පාවිච්චි කරන්න.