Sunday, March 14, 2010

ග්ලුකෝමා - ආලෝකය සොරා ගන්නා

අපට ජීවිතයේ බොහොම සුලබව අසන්නට ලැබෙන කියමන් දෙකක් තමයි ‘දන්නෙම නැතුව උදේ වෙලා’ හා ’දන්නෙද නැතුව රෑ වෙලා’. ඇත්තටම අපි ඇස් පියාගෙන හිටියෝතින් ඉර නැගීමවත් ඉර බැසීමවත් අපට දැනෙන්නෙ නෑ. අන්න ඒ විදිහටම අපට නොදැනීම අපේ පෙනීම එහෙමත් නැත්නම් අපේ ජීවිතයේ ආලෝකය හෙරකම් කරගෙන යන රෝගයක් තමයි ග්ලුකෝමා Glaucoma කියන්නේ.

අනිත් ඇස් රෝග මෙන්ම ග්ලුකෝමා ද දෘෂ්ඨික ස්නායුවට ( ඇසේ සිට මොළයට පණිවිඩ ගෙන යන ස්නායුවට) හානි සිදු කරනු ලබනවා. මේ නිසා ඇසේ පෙනීම පිරිහෙන අතර ප්‍රතිකාර සිදු නොකලෝතින් අන්ධභාවයට පත්වීම වළක්වන්නට බැරිය.

ඇසට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ගෙන ඒමටත් අපද්‍රව්‍යය ඉවත් කිරීමටත් ජලමය දියරයක් නිතරම ඇස තුළ නිපදවෙනවා. ඇතැම් පුද්ගලයන්ගේ මෙම දියරය ගමන් කරන මාර්ගයේ විවිධ අවහිරතා ඇතිවෙනවා. නමුත් දිගින් දිගටම දියරය නිපදවෙන බැවින් ඇස තුළ පීඩනයක් වර්ධනය වනවා. ග්ලුකෝමා රෝගයේ නිධානය මෙයයි.

මෙහි භයානක කම කුමක්ද?

ඇත්තෙන්ම මෙම රෝගයට පැහැදිළි රෝග ලක්ෂණයන් නොමැත. රෝගියාට තම පෙනීමෙහි අඩුවක් හෝ වෙනත් අමුත්තක් නොදැනේ. බොහෝ විට නොදැනීම අන්ධභාවයට පත් වීමට ඇති ඉඩකඩ වැඩිය. නමුත් පහත කරුණු එකක් හෝ වැඩි ගණනක් තිබීම රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩි කරයි.

1. වයස අවුරුදු 40ට වැඩි වීම
2. මව පියා සහෝදර සහෝදරියන් හෝ කිට්ටු නෑදෑයන්ට රෝගය වැළදී තිබීම
3. අවිදුර දෘෂ්ඨිකත්වය - ළග පමණක් පෙනීම
4. කලක පටන් ඉරුවාරදය පැවතීම
5. කෝට්සෝන් (ස්ටීරොයිඩ්) අඩංගු බෙහෙත් භාවිතය

තවමත් මෙම රෝගය සුව කිරීමට නිසි ප්‍රතිකාරයක් සොයා ගෙන නැත. වාසනාවන්ත ලෙස රෝගය හදුනා ගැනීමට හැකිවූවෝතින් එය පාලනය කිරීම පමණක් කළ හැක. නැතහොත් තමන්ට හොරෙන් ජීවිතය අදුරු වී යනු ඇත.

නිකම් ලෙඩ ගැන කියලා බය කරනවා කියලා හිතන්න එපා. මම මේක ලිව්වේ මගේ පෞද්ගලික අත්දැකීමක් නිසයි. ඒ මගේ ළගම නෑදෑයෙකුට මෙය වැළදී ඇති බව බොහොම අහන්බෙන් හොයා ගත්ත නිසා. තම බිරිදට කණ්නාඩි කුට්ටමක් ගැනීමට ගිය අවස්ථාවේ නිකමට වගේ තමන්ගේ ඇස් ද පරීක්ෂා කරගත් නිසා අදටත් ආලෝකය විදින්නට ඔහු වාසනාවන්ත වුනා. ඒ වාසනාව හැමෝටම ලැබෙන්නයි මේක ලිව්වේ.

1 comment:

  1. මේ රෝගයේ නම ග්ලුකෝමා නොව ග්ලෝකෝමා (glaucoma) වශයෙන් සඳහන් වේ. අධික රුධිර පීඩනය (hypertension) සහ දියවැඩියාව මේ රෝගය හා සමීප සම්බන්ධතාවයක් දක්වයි. ඇසේ අභ්‍යන්තරය දියර වලින් පිරී ඇත. මේ දියර ඇස තුල නිපදවෙන්නා සේම ඇසෙන් බැහැරටද යයි. සාමාන්‍යයෙන් මේ ක්‍රියා එකම වේගයකින් සිදුවන නිසා ගැටලුවක් නොමැත. යම් විදියකින් දියර ගැලීමේ වේගය බැසීමේ වේගයට වඩා වැඩිවුවහොත් ඇසේ අභ්‍යන්තරයේ පීඩනය වැඩි වෙයි. මේ පීඩනය නිසා ඇසේ ස්නායුවට(optic nerve) හානි සිදු වෙයි. එකම ප්‍රතිකාරය, ඇසේ අභ්‍යන්තරයේ පීඩනය අඩුකිරීමයි.

    ReplyDelete